ලෝක ගෘහස්ථ ක්‍රිකට් ශූරතා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

ලෝක ගෘහස්ථ ක්‍රිකට් ශූරතා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

ලෝක ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනය සංවිධානය කළ 12 වැනි ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනය මෙම තරගාවලිය සංවිධානය කරයි. මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පෙරේදා කොළඹදී පැවැත්විණි.

ඒ අනුව මෙම තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් 27 දා සිට ඔක්තෝබර් 5 දා දක්වා තලවතුගොඩ ඔස්ටේසියා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී පිරිමි විවෘත, කාන්තා විවෘත, අවුරුදු 22ට අඩු පිරිමි සහ අවුරුදු 22ට අඩු කාන්තා ලෙස කාණ්ඩ 4ක් යටතේ පැවැත්විණි. මෙහිදී සත්කාරක ශ්‍රී ලංකාව,

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඇමෙරිකාව, යන රටවල් ක්‍රීඩා කිරීමට නියමිතය.

ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලිය මුල්වරට 1995 වසරේදී එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැත්විණි. 2004 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති මෙම තරගාවලියේ පිරිමි ශූරතාව ඔස්ට්‍රේලියාවට හිමි වෙද්දී අනුශූරතාව ශ්‍රී ලංකාවට හිමි විය.

මෙතෙක් පැවැති තරගාවලි ඉතිහාසයේ පිරිමි ශුරතා 11ම ඔස්ට්‍රේලියාව හිමි කර ගනිද්දී කාන්තා ශුරතා 10ක් ඔස්ට්‍රේලියාව දිනාගෙන තිබේ.

2024 ආසියානු ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ පිරිමි ශූරතාව මෙන්ම කාන්තා අනුශුරතාව දිනා ගෙන තිබෙන්නේද ශ්‍රී ලංකා කණ්ඩායම වීම කැපී පෙනෙයි.

මෙම තරගාවලිය සංවිධානය කරන සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනය පසුගියදා ශ්‍රී’ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති මාස්ටර්ස් ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියද සංවිධානය කර තිබේ.

මෙම මාධ්‍ය හමුවට සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනයේ සභාපති හිරාන් ද මෙල්, ශ්‍රී ලංකා ගෘහස්ථ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අසේල පතිරණ, ශ්‍රී ලංකා ගෘහස්ථ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනි මනෝරි කොඩිතුවක්කු, තරගාවලි මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත වික්‍රමනායක, මාධ්‍ය අධ්‍යක්ෂක රවීන් ද සිල්වා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

(පසිඳු මිහිරාන් රැටියල / ඡායාරූප – සජීව ලක්ෂාන්) 

 

Share This