ජාතික ජූඩෝ ශූරතාවලියේ ශ්රී ලංකා ගුවන් හමුදාවට ජයග්රහණ රැසක්
ජාතික ජූඩෝ ශූරතාවලියේ කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය සහ පිරිමි අංශයේ සමස්ථ අනුශූරතාවය ශ්රී ලංකා ගුවන් හමුදාව සමත් වුණා.
ඒ, ශ්රී ලංකා ජූඩෝ සංගමය විසින් 61 වන වරටත් සංවිධානය කරනු ලැබු ජාතික ජූඩෝ ශූරතාවලියදීයි.
ගුවන් හමුදා කාන්තා ජූඩෝ කණ්ඩායම රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 9 ක් සමඟින් සමස්ථ ශූරතාවය හිමිකරගත් අතර ශ්රී ලංකා ගුවන් හමුදා පිරිමි ජූඩෝ කණ්ඩායම රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 5කට හිමිකම් කියමින් සමස්ත අනුශූරතාව හිමිකර ගැනීමට සමත් වුණා.
ශූරතාවලියේදී සැරයන් චාමර ධර්මවර්ධන අඛණ්ඩව 8 වැනි වරටත් දක්ෂතම පිරිමි ජූඩෝ ක්රීඩකයා ලෙස සම්මාන දිනාගත් බව සඳහන්.
ගුවන් කාන්තා කල්පනී ජයවීර දක්ෂතම කාන්තා ජූඩෝ ක්රීඩිකාව ලෙස සම්මාන දිනා ගත් බවයි, එම හමුදාව නිවේදනය කළේ.
සම්මාන ප්රදානෝත්සවය 2024 දෙසැම්බර් 15 වන දින පැවැත්වූ බව සඳහන්.
මෙම අවස්ථාවට ගුවන් හමුදා ජූඩෝ සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ඩෙමියන් වීරසිංහ, ගුවන් හමුදා ජූඩෝ සම්මේලනයේ ලේකම් ගෲප් කැප්ටන් මැඩ්සි ගුණසිංහ, ගුවන් හමුදා ජූඩෝ සම්මේලනයේ සහකාර ලේකම් විංග් කමාන්ඩර් සුරංග හෙට්ටිආරච්චි යන නිළධාරින්ද, ත්රිවිධ හමුදා නිළධාරීන්, සෙසු නිළයින් පිරිසක් එක්ව සිටියා.