දකුණු කොරියාවේ ජනපතිට එරෙහි දෙවන දෝෂාභියෝගය අද

ජනාධිපතිවරයාගේ පක්ෂයෙන් වැඩි සහයක්

දකුණු කොරියාවේ ජනපතිට එරෙහි දෙවන දෝෂාභියෝගය අද

රට කම්පනයට පත් කළ, ඔහුගේම පක්ෂය දෙකඩ කළ සහ ඔහුගේ ජනාධිපති ධුරය අනතුරේ හෙළූ පියවරක් වූ, යුද නීතිය පැනවීමට ගත් දකුණු කොරියානු ජනපතිගේ කෙටි කාලීන උත්සාහය සම්බන්ධයෙන්, අද ඔහු දෙවන දෝෂාභියෝග ඡන්දයකට මුහුණ දීමට නියමිතයි.
කෙටි කාලීන යුද නීතිය පැනවීම ජනපතිම ඉවත් කරගත් නමුත් එය රට ව්‍යවස්ථාමය අර්බුදයකට ඇද දැමූ අතර, ජනපතිවරයාම රටේ නීතිය කඩ කළ පදනම මත ඔහුට ඉල්ලා අස්වන ලෙස පුළුල් ඉල්ලීම් ඉදිරිපත් වුණා.
ජනපති Yoon Suk Yeol ජාතියෙන් සමාව අයැද සිටියත් පසුව ප්‍රකාශ කළේ තම පියවර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් ලෙස ගත් ආරක්ෂක පියවරක් බවයි.


කෙසේ වෙතත් මේ වනවිට දකුණු කොරියානු ජනපතිට එරෙහිව දෙවන දෝෂාභියෝගයක් එරෙට පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එහි ඡන්ද විමසීම අද එරට වේලාවෙන් පස්වරු 4.00 ට සිදු කරන බවයි රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ. පසුගිය සතියේත් මෙවැනිම ඡන්ද විමසීමක් පැවති අතර එය ජයගැනීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව සම්පූර්ණ කර ගැනීමට විපක්ෂයට නොහැකි වුණා.
කෙසේ වෙතත් දකුණු කොරියානු ජනපතිවරයාගේ ක්‍රියාවට තදින්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන ඔහුගේම පක්ෂයේ නායකයා, පක්ෂයේ මන්ත්‍රිවරුන් ජනපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට සහය පළ කළ යුතු බව පවසා තිබෙනවා.

Share This