ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට ලකුණු 94ක ජයක්
කාන්තා වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව සමඟ පැවැති තරග ලකුණු 94කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (15) සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 153ක්.
එහිදී නායිකා මනුධි නානායක්කාර නොදැවි ලකුණු 74ක් සහ ලිමන්සා තිලකරත්න නොදැවි ලකුණු 41ක් ලබාගැනීමටයි සමත් වුණේ.
පන්දුයැවීමේදී නුර් ඩනියා සයිදා කඩුලු දෙකක් බිඳහෙළුවා.
ජයග්‍රහණය සඳහා ලකුණු 154ක ඉලක්කයක් හඹා ගියා මැලේසියානු කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවි රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 59ක් පමණයි.
එහිදී නුර් අයින් බින්ටි ලකුණු 12ක් සහ සුබිකා මනිවානන් ලකුණු 11ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.
මේ අතර මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරන්ත ඩිල්ෂාන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද පළ කර තිබුණා.
එහිදී ඔහු සඳහන් කර සිටියේ, මෙම තරගයේදී තම දියණිය වන ලිමන්සා කණ්ඩායම් නායිකා මනුධි සමඟ ලකුණු 109ක සබඳතාවක් පැවැත්වූ බවයි.
එය 2009 වසරේ දෙසැම්බර් 15 වැනිදා කණ්ඩායම් නායක කුමර් සංගක්කාර සමඟ තමන් ගොඩනැගු ලකුණු 100ක සබඳතාව සිහිපත් කෙරුණු බව ද ඩිල්ෂාන් සඳහන් කළා.