මෙම සතියේ ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුට නිදහස

ගාසා වැසියන්ට උතුරට යාමට අවසර

මෙම සතියේ ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුට නිදහස

හමාස් සංවිධානය මේ සතියේ ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකු නිදහස් කරන බවත්, ඊශ්‍රායලය සඳුදා සිට ගාසා වැසියන්ට උතුරේ නිවෙස්වලට ආපසු යාමට ඉඩ දෙන බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට ගාසා වැසියන් නැවත පැමිණීම ප්‍රමාද කිරීමට හේතු වූ ආරවුලක කේන්ද්‍රස්ථානයවන අර්බෙල් යෙහුඩ් මෙම ප්‍රාණ ඇපකරුවන් අතරට ඇතුළත්.

හමාස් සංවිධානය සෙනසුරාදා සොල්දාදුවන් හතර දෙනෙකු නිදහස් කළ නමුත් අර්බෙල් යෙහුඩ්මව නිදහස් කළේ නැහැ. නමුත් ඇයත් ඔවුන් අත්‍රට මුළදී ඇතුලත් කළ බවට මත පළවූවා.

මේ අතර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඊශ්‍රායල සිවිල් වැසියන් පළමුව නිදහස් කළ යුතු බවට වූ සටන් විරාම ගිවිසුම හමාස් සංවිධානය මේ වන විට උල්ලංඝනය කරන බවට ඊශ්‍රායලය චෝදනා කරනවා.

සටන් විරාම ගිවිසුම බලාත්මක වූ දා සිට, ප්‍රාණ ඇපකරුවන් හත් දෙනෙකු හමාස් සංවිධානය විසින් නිදහස් කර ඇති අතර, ඊශ්‍රායලය සිරකරුවන් 200 කට වැඩි පිරිසක් නිදහස් කර ඇති බව සඳහන්.

උතුරු ගාසා තීරයට ළඟා වීමට උත්සාහ කරන අවතැන් වූ පලස්තීනුවන් දහස් ගණනක් දින දෙකක් තිස්සේ එහි හමුදා බාධකය අසල රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් නිදහස් කිරීමේ මෙම සටන් විරාම ගිවිසුම ජනවාරි 19 වන දින සිට බලාත්මක වූ අතර මේ වන විට අවසන් කර ඇති හුවමාරු ගණන දෙකක්.

තෙවන හුවමාරුව ලෙස , හමාස් සංවිධානය සිකුරාදා යෙහුඩ් මහත්මිය සහ තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීමට නියමිත අතර, සෙනසුරාදා තවත් තිදෙනෙකු නිදහස් කරන බවයි අගමැති නෙතන්යාහු පවසන්නේ.

සඳුදා සිට ඊශ්‍රායලය පලස්තීනුවන්ට උතුරට යාමට ඉඩ දෙන අතර, සතියේ අග භාගයේදී තවත් පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ද ඉඩ ඇති බව සඳහන්.

මේ වන විට අවතැන්වූ දැවැන්ත ජනකායක් උතුරු ගාසා තීරයට ළඟා වීමට බලා සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

Share This