පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක්

පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක්

දෙසැම්බර් 17 සහ 18ට දෙදිනට අදාළව පෙර තීරණය කළ පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අද (16) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව හෙට හෙට (17) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පළමුව අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිතයි. ඉන් අනතුරුව නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවන බවයි, මහලේකම්වරිය කියාසිටියේ.

දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 සිට පෙරවරු 9.45 දක්වා නව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව/ දිවුරුම ලබා දීම සඳහා කාලය වෙන්කර තිබෙනවා.

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරයන් තිදෙනෙකු සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රීවරයෙකු මෙසේ දිවුරුම් දීමට නියමිතයි.

ඉන්අනතුරුව නව කථානායකවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව යොමුවනු ඇති.

ඉන්පසු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා මන්ත්‍රීවරයන්ට අවස්ථාව සැලසෙන බවයි, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අනතුරුව පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා විවාදයට ගෙන එම විවාදය 2024.12.18 වැනි දිනට ද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව පෙර තීරණය කළ පරිදි 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව මෙදින විවාදයට ගැනීම සිදු නොවනු ඇති.

අනතුරුව පස්වරු 3.00 සිට පස්වරු 6.30 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

නව කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට කාලය වෙන් කිරීම හේතුවෙන් විවාද කාලය මෙසේ පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත්තේ.

දෙසැම්බර් 18 වැනි දා බදාදා පෙරවරු 9.30ට රැස්වන  පාර්ලිමේන්තුවේ පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළා.

අනතුරුව පෙර දින කල්තබන ලද, පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධ විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට මෙහිදී තීරණය කෙරුණා.

මේ අනුව පෙර තීරණය කර තිබූ අතිවිශේෂ ගැසට් පත්‍රවල සඳහන් නියෝග හා රෙගුලාසිවලට අදාළ විෂයයන් ඉදිරි දිනකදී විවාදයට ගැනීමට එකඟත්වය පළ වී ඇති බව සඳහන්.

ඉන් අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න දෙකක් සඳහා කාලය වෙන් කර තිබෙනවා.

Share This