”ජැක්සන් තරුණ කාලේ, ඒ හා සමානම රංගන හැකියාවක් ඇති තරුණයෙක් සජිත” – ‘රාණි’ එක්ක ඔබ හමුවට එන සජිත ගැන, හඳගමගෙන් සටහනක්

”ජැක්සන් තරුණ කාලේ, ඒ හා සමානම රංගන හැකියාවක් ඇති තරුණයෙක් සජිත” – ‘රාණි’ එක්ක ඔබ හමුවට එන සජිත ගැන, හඳගමගෙන් සටහනක්

ලාංකීය සිනමා රසවතුන්, ජනවාරි 30 වැනිදා වෙනකල් ඉවසිල්ලක් නැතුව දින ගණිමින් පසුවන බව අපි දන්නවා.

ඊට එකම හේතුව, ‘රාණි’ ඔබේ ඇස් ඉස්සරහ ජීවමාන වන ඒ අපූරු දවස ජනවාරි 30 වීම නිසාවෙන්.

‘රාණි’ එක්ක ඔබ හමුවට එන්න නියමිත චරිත ගැන, මේ වෙද්දිත් ඔබ දැනුවත්.

‘සජිත අනුත්තර’ ඉන් එක් සුවිශේෂී චරිතයක්.

සජිත ගැන බොහෝදෙනාට තියෙන කියවීම තමයි, ‘ජැක්සන් ඇන්තනීව දකින්නෙ සජිතගෙන්’ කියන කාරණාව.

ඉතින් ඒ විදියට සජිතව දකින රසික සමූහයා, බලාපොරොත්තු සහගතව පසුවනවා ‘රාණි’ එක්ක ඔහු කොහොමද එළියට එන්නෙ කියලා දැකබලා ගන්න.

ඒ ගැන පූර්ව අදහස් දැක්වීම් සහිත සටහන් එහෙමත්, සෑහෙන්න ලියවෙනවා දකින්න ලැබෙනවා.

එයාකාරයෙන් රාණි ඔබ වෙත ගෙන එන, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අසෝක හඳගමයන් සිය මුහුණු පොතෙහි තබන ලද සටහනකි මේ…..

”ජැක්සන් ඇන්තනි මගේ මිත්‍රයෙක්. ඔහු බහු කෞශල්‍යයෙන් පිරි ශිල්පියෙක්. ගීත ගයන්න, වයන්න, නටන්න, රඟන්න එක වගේ දක්ෂයෙක්.

ඒ වගේම සිංහල භාෂාව පිළිබඳව, ඉතිහාසය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇත්තෙක්.
සිනමා/ නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. පිටපත් රචකයෙක්. ඒත් කවදාවත් මං ජැක්සන් ව චිත්‍රපටයකට හෝ නාට්‍යයකට සම්බන්ධ කරගන්න හිතුවේ නැහැ.
මගේ චිත්‍රපටියක්/නාට්‍යයක් මුල් දවස්වලම නරඹා ඒ පිළිබඳව අදහස් බෙදා හදා ගන්න ඔහු පුරුදුවෙලා හිටියා. ඔහුගේ හදිසි අභාවය මට මහත් කම්පනයක් ගෙන ආවේ ඒ නිසයි.
සජිත ඇන්තනි, ජැක්සන් ගේ පුතා දවසක් අපේ ගෙදර ආවා. අසනීප වුණු මාව බලන්න. (එතකොට එයාගේ තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලෙ). තව යාළුවො කට්ටියකුත් හිටියා.
අපි බොහෝ රෑ වෙනකම් කතාබහ කර කර හිටියා. සජිත සභාවක ඉන්නකොට මුළු සභාවේම අවධානය එයා වෙතට ගන්න දක්ෂයි. ඔහුට කියන්න බොහෝ කතා තියෙනවා.
ඔහු කතා කියනවා. අපි අහගෙන ඉන්නවා. ජැක්සන් තරුණ කාලේ (ඔහුගේ රංගන දස්කම් දැක ඇති අපට) ඒ හා සමානම රංගන හැකියාවක් ඇති තරුණයෙක් සජිත.
ජැක්සන්ව චිත්‍රපටියකට ගන්න නොහිතපු මම මගේ අදහස වෙනස් කරගත්තා. සජිතට මං ආරාධනා කළා රාණි චිත්‍රපටයේ චරිතයක් කරන්න. ඒක ලොකු චරිතයක් නෙවෙයි උනාට වැදගත් චරිතයක්. ඔහු ඒ ආරාධනාව බොහොම නිහතමානීව පිළිගත්තා.

රාණි චිත්‍රපටියේ රාණි ඇරුනහම අනිත් හැම චරිතයක්ම අවශේෂ චරිත.
එහෙම කළේ, ඒක තමයි මේ චිත්‍රපටියට ගැලපෙන ආඛ්‍යානය කියලා හිතුන හින්දා.
(එහෙම නැතුව, ඇතැම් අය කියනවා වගේ චිත්‍රපටියක් කරන්න නිෂ්පාදකයෙක් හම්බුන හින්දාවත්, කල්පනා කරලා බලන්න වෙලා නැති හින්ද වත් නෙවෙයි ).
ඒ අවශේෂ චරිත රාණි වටේ pop-up වෙලා නැති වෙලා යනවා. ඒවා චරිත හැටියට වෙන වෙනම වැඩෙන්නේ නැහැ.
ඒ වගේ චරිතයක් තමන්ට පැවරෙන පුංචි රංග කාල සීමාව ඇතුළේ ගොඩනගා ගන්න එක නළුවෙකුගේ නිළියකගේ දක්ෂකමක්.
එහෙම එක වැදගත් චරිතයක් තමයි සජිත රඟපාන්නේ.”

Share This