පිහි ඇනුමට ලක්වූ සයිෆ්ගේ නවතම තත්ත්වය මෙන්න

පිහි ඇනුමට ලක්වූ සයිෆ්ගේ නවතම තත්ත්වය මෙන්න

අද (ජනවාරි 16) අලුයම 2:30 ට පමණ, අනවසරයෙන් නිවසට ඇතුළු වූ පුද්ගලයෙක් විසින් කළ පිහි ඇනුමකින් තුවාල ලද බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් මේ වන විට අනතුරුදායක තත්ත්වයෙන් මිදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි ගෙඩම් ඩික්සිත් ප්‍රකාශ කර තිබුණේ, සයිෆ් ප්‍රතිකාර ලබමින් පසුවන බවත් මේ වන විට අනතුරුදායක තත්ත්වයෙන් මිදී ඇති බවත් ය.

සයිෆ් අලි ඛාන් මෙම සිදුවීමට මුහුණපා තිබුණේ මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසේදී යි.

මේ සම්බන්ධයෙන් සයිෆ්ගේ පවුලේ පිරිස් වෙතින් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර නොමැති නමුත්, විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බැවින් අනුමාන කිරීම්වලින් වළකින ලෙස සයිෆ් – කරීනා යුවළගේ ප්‍රචාරක කණ්ඩායම මීට ඉහත නිවේදනය කර තිබුණා.

මෙම පිහි ඇනුම, සයිෆ් – කරීනා යුවළගේ නිවසේ සොරකමක් කිරීමට ගත් උත්සාහයකදී සිදු වූවක් වන බවයි එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ.

එමෙන්ම පිහි ඇනුමෙන් තුවාල ලද සයිෆ්, ශල්‍යකර්මයකට බඳුන්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පවුලේ අනෙක් අය හොඳින් පසුවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

සයිෆ් ප්‍රතිකාර ලබන රෝහලේ (Lilavati Hospital) ප්‍රධාන මෙහෙයුම් නිලධාරි නිරාජ් උත්තමනි බීබීසී වෙත ප්‍රකාශ කර තිබුණේ, පිහි ඇනුමින් සයිෆ් හට තුවාල හයක් සිදුව ඇති බවත්, ඉන් දෙකක් තරමක ගැඹුරු ඒවා වන බවත් ය. එම තුවාලවලින් එකක් කොඳු ඇට පෙළට ආසන්න බවත් සඳහන්.

සයිෆ්ගේ නිවසට සැකකරු ඇතුළු වී තිබුණේ ඔහු සිය බිරිඳ කරීනා කපූර් සහ පුතුන් වන තායිමූර් – ජේ දෙදෙනා සමඟ නිදා සිටියදී යි.

පසුව නළුවා සහ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා අතර ගැටුමක් ඇති ව ඇති අතර, අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා සයිෆ් අලි ඛාන්ට කිහිප වතාවක් පිහියෙන් ඇන අපරාධ ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි මූලික පරීක්ෂණවලින් අනාවරණයව තිබුණේ.

එමෙන්ම සයිෆ්ගේ නිවසේ සිටි සේවිකාවකට ද අදාළ පුද්ගලයා පහර දී ඇති බවත් එම සේවිකාව ද ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන්.

Share This