වැඩ තහනමට ලක් වූ දකුණු කොරියානු ජනාධිපති යූන්, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමේ උත්සාහයක්

වැඩ තහනමට ලක් වූ දකුණු කොරියානු ජනාධිපති යූන්, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමේ උත්සාහයක්

දෝෂාභියෝගයට ලක් වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව, දීර්ඝ කිරීමට දකුණු කොරියානු විමර්ශකයින් ඉල්ලා සිටිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගෙවුණු සිකුරාදා දිනයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයන් අසාර්ථක වූයේ, විමර්ශකයින් විසින් යූන් වෙත ප්‍රවේශ වීම අවහිර කිරීම සඳහා මිනිස් දාමයක් පිහිටුවීමට ජනාධිපති ආරක්ෂක සේවා නිලධාරීන් කටයුතු කර තිබීමත් සමඟයි. එහිදී නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගතව තිබුණා.

තවමත් බලයෙන් පහකර නොමැති දකුණු කොරියානු ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් නිකුත් කරන ලද ප්‍රථම වරෙන්තුව ලෙස මෙය ඉතිහාසගත වනු ඇති.

මෙයාකාරයෙන් යූන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කරන ලද්දේ, ඔහු දෙසැම්බර් 3 වැනි දින යුද නීතිය පැනවීමට ගත් උත්සාහය සම්බන්ධවයි.

ඒ අනුව යූන්ව දෙසැම්බර් 14 වන දින පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝගයට ලක් කරන ලද අතර ජනාධිපති රාජකාරිවලින් ද අත්හිටුවන ලදී.

රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිහිපයකට මුහුණ දී සිටින යූන්, පසුගිය සති දෙක තුළ ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසි තුනක් නොසලකා හැර තිබුණා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ඔහුව ස්ථිරවම ධුරයෙන් ඉවත් කරනවාද නැතිනම් නැවත සේවයේ පිහිටුවනවාද යන්න තීරණය කිරීමට නඩුව විභාග වෙමින් පවතියි.

Share This