ඖෂධ මාෆියාව තමන්ව බිත්තියට හේත්තු කර ඇති බව රුක්ෂාන් බෙල්ලන කියයි

ජාතික රෝහලට අවශ්‍ය රසායනික ප්‍රතික්‍රියක මිලදී ගැනීමේ දී දූෂණ සිදුවන බැවින් ඒ පිළිබඳ සොයා බැලීමක් සිදුකරන්නැයි එම මිල දී ගැනීම්වල තාක්ෂණික කමිටුවේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
මේ සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂවරයාට පසුගිය 08 වැනිදා ලිඛිතව දැනුම් දුන් බව ද හෙතෙම සඳහන් කරයි.
වසරකට රුපියල් කෝටි 25 ක රසායනික ප්‍රතික්‍රියක මිල දී ගන්නා බවත්, මේ සියල්ල එකම සමාගමෙන් මිල දී ගැනීම ගැන පරික්ෂණයක් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම මිලදී ගැනීම්වලට තමන් විරුද්ධ බව කී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රෝගීන් ගැන කීයා තමන් බිත්තියට හේත්තු කර තමන්ගේ අත්සන ගන්නට මේ වනවිට අදාල නිලධාරින් කටයුතු කරන බව ද පවසයි.
ප්‍රතික්‍රියක මිල දී ගැනීම සම්බන්ධව කටයුතු කළයුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කල චක්‍රලේඛයක් ඇතත් ඒ සම්බන්ධව මෙම කණ්ඩායම් කිසිදු සැළකිල්ලක් නොදක්වන බව ද ඔහු පෙන්වා දෙයි.
“ජාතික රෝහලේ ස්වයංක්‍රිය රසායනාගාර පරික්ෂණ යන්ත්‍ර හතක් තියෙනවා. එයින් පහක්ම එකම සමාගමේ යන්ත්‍ර. මේ සමාගම වෛද්‍යවරුන්ට විදේශ ගමන් සංවිධානය කරනවා. රසායනාගාර නිලධාරින්ට පසුගිය දවස්වල කෝටි දෙකහමාරක් වැය කරන තරු පහේ හෝටලයක පාටියක් දුන්නා.
මේවා ගැන කළ පැමිණිලි අනුව හිටපු අධ්‍යක්ෂවරයා කමිටුවක් පත් කර ඒ මගින් නිර්දේශ ගන්න කීවා. නමුත් කිසිවක් වුණේ නැහැ. අද මම ඉල්ලා සිටියේ අධිතාක්ෂණික කමිටුවක් පත් කිරීම් ගැන සොයා බලන්න කියලයි.” මේ සම්බන්ධව කළ විමසීමේ දී ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කීවේය.
මේ සම්බන්ධව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන් ගේ ආයතනයේ සභාපති රවි කුමුදේශ් කීවේ,
මේ ඒකාධිකාරිය පවත්වාගෙන යන්නේ දූෂිත වලල්ලක් විසින් බවය. ඔවුන් අනන්‍ය සම්බන්ධතා මත කටයුතු කරමින් මෙම දූෂණයන්හි යෙදෙන බව ද හෙතෙම කියා සිටියේය.
වෙළඳපොල තරඟකාරි නොවන පරිදි රසායනාගාර නිලධාරින් විසින් ක්‍රමවේදයක් හදාගෙන ඇතැයි පෙන්වා දුන් ඔහු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ඊට නොමදව ලැබෙන බව ද කියයි. ඊට උදාහරණ පෙන්වා දෙමින් ඔහු මෙසේ ද කීවේය.
“අපි හිතමු එකම පරික්ෂණයක් කරන මැෂින් කීහිපයක් තියෙනවා කියලා. විශේෂඥ වෛද්‍යවරයා කියනවා මෙන්න මේ මැෂින් එක තමයි හොඳ කියලා. ඒ වගේම ඒ ඒ මැෂින්වලට යොදන රසායනාගාර ප්‍රතික්‍රියක වෙන වෙනම මිල දී ගන්න හදාගෙන තියෙනවා. ඉතින් වෛද්‍යවරයා හොඳයි කියන මැෂින් එක පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රතික්‍රියක මිල දී ගන්නේ අදාල සමාගමෙන්. මෙතනදි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ වෛද්‍යවරයා දන්න නිසානේ හොඳයි කියන්නෙ කියලා. නමුත් ඒක එහෙම නොවෙයි කියන්න තියෙන සාක්ෂිය තමයි මෙතනට වෙන වෛද්‍යවරයෙක් ආවම සමහර විට හොඳයි කියන්නේ වෙන මැෂින් එකක් වීම. එක රෝහලක හොඳයි කියන යන්ත්‍රය තවත් රෝහලකට හොඳ නැහැයි කියන එක. මේවා වෙනස් වෙන්න ඕන.” යැයි ඔහු සඳහන් කරයි.
විනීතා එම් ගමගේ