අභියෝගාත්මක වසරක් අවසන රාජකීයන් සමරන නත්තල
මේ ගෙවී යන්නේ බ්‍රිතාන්‍යය රජ පවුල මහත් අභියෝග මධ්‍යයේ කටයුතු කළ වසරකි.
ඊට ප්‍රධානතම හේතු ද්විත්වය නම්, චාල්ස් රජු සහ වේල්ස් කුමරිය පිළිකා තත්ත්වයකින් පෙළෙන බවට කරන ලද අනාවරණයයි.
නමුදු පසුව රජ පවුල නිවේදනය කළේ, ප්‍රතිකාර මධ්‍යයේ වුව ඔවුන් යහපත් තත්ත්වයේ පසුවන බවයි.
චාල්ස් රජු පෙබරවාරි 5 වන දින ඔහුගේ රෝග විනිශ්චය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළ අතර 42 හැවිරිදි කේට් කුමරිය මාර්තු 22 වන දින ඇයගේ රෝග විනිශ්චය නිවේදනය කරමින් වීඩියෝ පණිවිඩයක් නිකුත් කරන ලදී.
රජුගේ පිළිකාව පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් නොවන බව මාලිගය මගින් තහවුරු කළ ද, ඔවුන්ගේ පිළිකාවල වර්ග සහ අවධීන් මේ වන තෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.
සැප්තැම්බර් 9 වන දින වේල්ස් කුමරිය නිවේදනය කළේ, රජුගේ පිළිකා ප්‍රතිකාරය සිදුවෙමින් පවතින අතර, ඇයගේ රසායනික චිකිත්සක ප්‍රතිකාර අවසන් වූ බවයි.
මෙම හේතු කාරණා නිසාවෙන් ම, රජ පවුල සමරන මෙවර නත්තල අන් කවරදාටත් වඩා විශේෂ වනු ඇති.
ඒ අනුව, විදෙස් මාධ්‍ය ද වෙනදාට සාපේක්ෂව රජ පවුලේ නත්තල් සැමරුම කෙරෙහි වැඩි අවදානයක් යොමුකර ඇති සෙයකි.
විදෙස් වාර්තාවන්ට අනුව, වේල්ස් කුමරු – කුමරිය සහ චාල්ස් රජු – කැමිලා රැජින ප්‍රමුඛ රාජකීයන් සැන්ඩ්‍රින්හැම් හි දේවස්ථානය වෙත පැමිණ ඇති බව සඳහන්.
මහාධිකරණ තීන්දුවකට අනුව නම් කරන ලදැයි කියන චීන ඔත්තුකරුවෙකු සම්බන්ධව අනාවරණය වීමෙන් පසු, යෝර්ක් ආදිපාදවරයා (ඇන්ඩෘ කුමරු) මෙම වාර්ෂික රැස්වීමට සහභාගී නොවන බව පසුගිය සතියේ ම නිවේදනය කර තිබීම ද විශේෂයි.
‘රාජකීය පවුලේ නත්තල් පා ගමන’ රජුගේ නත්තල් පණිවුඩය විකාශනය වීමට පැය කිහිපයකට පෙර සිදුවන්නකි.
ඒ අනුව එම අවස්ථාවේදී ගන්නා ලද සේයා රූ කිහිපයක් මේ වන විට දක්නට ලැබේ.
රජුගේ නත්තල් දින පණිවුඩය ද මෙවර වෙනස් ස්වරූපයක් ගනියි. එනම් සාමාන්‍ය සම්ප්‍රදාය අනුව නොයමින්, මෙවර නත්තල් දින පණිවුඩය ලන්ඩනයේ ෆිට්ස්රෝවියා දේවස්ථානයේදී පටිගත කර තිබීමයි.
රෝහල් දේවස්ථානයක් ලෙස ප්‍රකට එහි සිට රජු සිය නත්තල් පණිවුඩය ලබාදීම, ඔහුගේ පිළිකා ප්‍රතිකාර සංකේතවත් කරන්නක් ද වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
එමෙන්ම රජුගේ ලේලිය වන කේට් කුමරිය මුහුණ දෙන ලද තත්ත්වය ද ඉන් නිරූපණය වනු ඇති.
ඒ අනුව බොහෝදෙනාගේ අනුමානය වන්නේ, රජුගේ සාම්ප්‍රදායික නත්තල් දින පණිවුඩයට මෙවර ‘සෞඛ්‍ය ආරක්ෂණය’ මාතෘකා වනු ඇති බවයි.
කේට් කුමරිය මෑතකදී, සිය රසායනික චිකිත්සාව අවසන් කිරීමෙන් පසු රාජකීය රාජකාරි සඳහා නැවත පැමිණීම සනිටුහන් කරනු ලැබීම ද සුවිශේෂීය.
එවන් අභියෝගාත්මක කාල සීමාවක් පසුකළ රාජකීයන් නත්තල් දේව මෙහෙය උදෙසා සැන්ඩ්‍රින්හැම් හි ශාන්ත මරියා මැග්ඩලීන් දේවස්ථානය වෙත පැමිණෙන අයුරු දැකබලා ගැනීමට, ඒ අවට විශාල පිරිසක් රැස්ව සිටින අයුරු දක්නට ලැබේ.
රාජකීයයන් 1988 සිට නත්තල් දින ගත කරන්නේ නොර්ෆොක්හි ඔවුන්ගේ සැන්ඩ්‍රින්හැම් වතුයායේ යි.
රජ පවුලේ වාර්ෂික පා ගමනේදී රාජකීය පවුලේ සාමාජිකයන් මහජනතාව සමඟ අන්තර් ක්‍රියා කිරීම සිත්ගත් කරුණකි.
ඒ අනුව 77 හැවිරිදි රජු සහ රැජින සමඟ මෙවර නත්තල් පා ගමනට එක් වූයේ කේට් කුමරිය, ඇගේ සැමියා වන විලියම් කුමරු සහ ඔවුන්ගේ දරුවන් වන ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය සහ ලුවී කුමරු යි.
එමෙන්ම එඩ්වඩ් කුමරු, සොෆී ආදිපාදවරිය සහ ඔවුන්ගේ දරුවන් ද දැකගත හැකිය.
කෙසේ නමුත් මෙම වාර්ෂික උත්සවයට නොපැමිණි රජුගේ බාල පුත් හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් හට පවුලේ සම්ප්‍රදාය සඳහා ආරාධනා නොකර ඇති සෙයකි.
ඒ අනුව ඔවුන් දෙදෙනා සිය දරුවන් වන ආචී කුමරු සහ ලිලිබෙට් කුමරිය සමඟ එක්සත් ජනපදයේ නත්තල් නිවාඩුව ගෙවනු ඇති.