රෝහිතගේ දියණිය පොලිසියට භාර වෙයි

රෝහිතගේ දියණිය පොලිසියට භාර වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබේ.

ඒ, ආන්දෝලනාත්මක ජීප්රථ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

ඇය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් භාරවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

එම රථය මතුගම නගරයේ ධාවනය කරමින් ඇති බවට ලද තොරතුරකට අනුව පසුගිය ජූලි 19 වෙනිදා පස්වරුවේ එම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාළ ජීප් රථය සමග එය පැදවූ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

Share This