රනිල් අලුත් පක්ෂයක් හදන්න යයි

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මත නව පක්ෂයක් ආරම්භ කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ, පළාත් පාලන ආයතන වලට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ සභිකයන් ප්‍රතිඥාව ලබාදීමේ උත්සවය අමතමිනි.
“ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද වැඩිකර ගත්තේ මම නොවේ. මා එය කොමිටියකට බාර දුන්නා. ඔවුන් විසින් එය කරනු ලැබුවා. පක්ෂයේ නියෝජ්‍ය නායක, මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක, උපසභාපති, උපනායක, මෙන්ම හරීන් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න, මනුෂ නානායක්කාර වැනි අය කැපවී කටයුතු කළා. ඔවුන් බෙදාගෙන ඒ කටයුතු කර මේ ප්‍රතිඵලය ගත්තා. මට අවශ්‍ය වුණේ ඒ වගකීම වෙන අයට බාර දීමටයි.
දැන් ඒ ප්‍රතිඵල උඩ අප අලුත් පක්ෂයක් සැදිය යුතුයි. ඒක කරන්නෙත් මම නොවේ. මම මේ කොමිටියට එය බාර දෙනවා. එය කළ හැකිද නැද්ද කියා බලන්න අප කාල සීමාවක් දිය යුතුයි. එතකොට වැඩි වැඩියෙන් අලුත් මූනුත් දාන්න වෙනවා.
මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. පනස් හයේදී අප එහෙම අලුත් පක්ෂයක් හැදුවා. හැත්ත හතේදී අප එහෙම හැදුවා. නැවත 2001 ඡන්දෙට අප අලුත් වුණා. ඉදිරියට යා යුත්තේ ඒ අනුවයි.
මේ රට අසීරු අවස්ථාවේ ගොඩ ගත්තේ අපි. අනෙක් පක්ෂ සමග එකතු වී අප එය කළා. ඒ දර්ශනය අනුව ඉදිරියට යා යුතුයි. පක්ෂ ගොඩනැගීමේදී අපේ මූලික ඒකකය වන්නේ ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද කොට්ඨාසයි.”