වසර 27 ක් පුරාවට ස්වර්ණා මල්ලවආරච්චි දුටු ස්වර්ණමය සිහිනය, “රාණි” තව දින පහකින් ඔබ හමුවට

වසර 27 ක් පුරාවට ස්වර්ණා මල්ලවආරච්චි දුටු ස්වර්ණමය සිහිනය, “රාණි” තව දින පහකින් ඔබ හමුවට

කාලෙකට පස්සෙ සිංහල සිනමා සිත්තමක් ගැන ලාංකීය සිනමා රසවතුන් අතර දැඩි කුතුහලයක්, නොඉවසිලිමත් බවක් හටගෙන.

චිත්‍රපටය එනකල් මඟ බලාගෙන ඉන්න තැනට ඇවිත්.

චිත්‍රපටය ගැන පූර්ව සටහන් ලියවෙන, චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු ගැන පවා විචාර ලියවෙන, චිත්‍රපටයේ පෝස්ටර් සිනමා රසවතුන් අතින් නිර්මාණය වෙන තැනට ඇවිත්.

ඒ වෙන කිසිවක් වෙනුවෙන් නෙවෙයි, ශ්‍රී ලාංකේය සිනමාවට සිය අභිමානවත් සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජාත්‍යන්තර සිනමා සන්නාමය ‘Lyca Productions‘ ඔබ වෙත ගෙනෙන ‘රාණි‘ සිනමා සිත්තම වෙනුවෙන්.

ඇගේ ඇස අග, තනි තටුවෙන් පියාඹන්න, අක්ෂරය, ඇල්බොරාදා, ඉනි අවන් වැනි මතභේදාත්මක සමාජීය වශයෙන් දැඩි කතාබහක් නිර්මාණය කළ, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අසෝක හඳගමයන්ගේ තවත් එක් සුවිශේෂී කලා කෘතියකි, “රාණි”

චිත්‍රපටය දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ඇරඹෙන්නෙ, ජනවාරි 30 වැනිදා.

ඒ කියන්නෙ, සිංහල සිනමාවට ‘Lyca Productions‘ වෙතින් පිදෙන, ස්වර්ණමය තිළිණය පිළිගන්න ඔබට ඇත්තේ තවත් දින පහක් විතරයි.

ගෙවුණු දවසක චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනය පැවැත්වුණා, වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී.

ඒ, “රාණි” පවුලම එකට එක්කාසු කළ අති උත්කර්ෂවත් කටයුත්තක් හැටියට.

එතැනදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය රංගන ශිල්පිනිය ස්වර්ණා මල්ලවආරච්චි කියා සිටියේ, “රාණි” ඈ 27 වසරක් පුරාවට දුටු සිහිනයක් වන බව….

”චිත්‍රපටයේ තිරගත කිරීම් ආරම්භ කරන කාලය වෙනකොට, මේ මගේ අවුරුදු 27 ක හීනයක්.
මට මනෝරාණි හම්බෙලා තියෙනවා. රිචඩ් ද සොයිසා හම්බෙලා තියෙනවා.
මනෝරාණිව හතර සැරයක් හම්බුණා, රිචඩ් නැති වුණාට පස්සෙ.
එතකොට මං මණෝරාණිගෙන් ඇහුවා මම මේ චිත්‍රපටය කරන්න කැමතියි, ඔබගේ අකමැත්තක් නැද්ද කියලා.
එයා හතරවෙනි දවසෙ විතර කිව්වා කමක් නෑ ස්වර්ණා කරන්න කියලා.

මනෝරාණිට වෙච්ච පොරොන්දුව වගේම ඊට පස්සෙ ඒක මගේ සිහිනය බවට පත්වුණා.
කීපසැරයක් ඒක කරන්න හැදුවා. ඔහොම අවුරුදු 27 ක් තිස්සෙ මම සෑහෙන්න මහන්සි වුණා මේක කරන්න.

මම දවසක් අසෝකට කිව්වා, අසෝක කැමතිද මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න කියලා.
මම හිතුවෙ නෑ අසෝක හා කියයි කියලා. අසෝක ඉතා එඩිතර විදියට කිව්වා මම කරන්නම් අක්කා කියලා.
අධ්‍යක්ෂවරයා ලස්සන පිටපතක් ලියලා දුන්නා.

‘Lyca’ නැත්නම්, අසෝක නැත්නම් මේ චිත්‍රපටය මේ විදියට හැදෙන්නෙ නෑ.
ඒ විදියට තමයි මේ චිත්‍රපටය ගොඩනැඟුණෙ.

මට මේ චරිතය කරන්න හැමෝගෙන්ම විශාල සහයෝගයක් ලැබුණා. මම මේ චරිතයේ ජීවත් වුණා අවුරුදු 27 ක්.
මම හැමදාම හිතුවා මට මේක කරන්න පුළුවන් වෙනවා නම්, ඒ මුළු ලෝකෙම ඉන්න අම්මලා, දරුවන් නැති වෙච්ච අම්මලා වෙනුවෙන් මට කරන්න පුළුවන් ලොකු දෙයක් කියලා.
මම හිතන්නෙ මේක මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්.

ඒකට මට උදව් කරපු හැමෝටම ස්තූතියි…”

Share This