ශ්‍රී ලාංකේය සිනමාවට Lyca Productions අභිමානවත් සම්ප්‍රාප්තිය – අසෝක හඳගමගේ “රාණි” ජනවාරි 23 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලින්

ශ්‍රී ලාංකේය සිනමාවට Lyca Productions අභිමානවත් සම්ප්‍රාප්තිය – අසෝක හඳගමගේ “රාණි” ජනවාරි 23 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලින්

රිචඩ් ද සොයිසා ඝාතනය‘ ගැන ආයෙමත් ලොකු කතාවක් කරළියට ඇවිත්.

ඒ, ජනවාරි 23 වැනිදා සිට දිවයින පුරා සිනමා හල්වල තිරගත වීමට නියමිත “රාණි” සිනමා සිත්තම එක්ක.

ඇගේ ඇස අග, තනි තටුවෙන් පියාඹන්න, අක්ෂරය, ඇල්බොරාදා, ඉනි අවන් වැනි මතභේදාත්මක සමාජීය වශයෙන් දැඩි කතාබහක් නිර්මාණය කළ, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අසෝක හඳගමයන්ගේ තවත් එක් සුවිශේෂී කලා කෘතියකි, “රාණි”

රාණි ඔබ වෙත ගෙනෙන්නේ, ජාත්‍යන්තර සිනමා සන්නාමය ‘Lyca Productions‘ වෙතින්. ඒ ශ්‍රී ලාංකේය සිනමාවට සිය අභිමානවත් සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින්.

රාණි සිනමා පටයේ පූර්ව ප්‍රචාරක පටය සේ ම, එහි පළමු පෝස්ටරයත් මේ වෙද්දි නිකුත්ව අවසන්.

ඒ වගේම චිත්‍රපටය නිකුත් වන දිනයත් අද ලාංකීය සිනමා රසවතුන් වෙත දැනුම් දෙනු ලැබුවා.

රාණි සමඟින් සිනමා ප්‍රේක්ෂකාගාරය, වසර 35 ක් ආපස්සට යනු නොඅනුමානයි.

ඊට හේතුව, මෙය එතරම් තාත්වික අන්දමින් කතාව ඔබ වෙත ගෙනෙන කණ්ඩායමක නිර්මාණයක් වීම.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන වෛද්‍ය මනෝරාණී සරවනමුත්තුගේ චරිතය ජීවමාන කරනුයේ, ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනි ස්වර්ණා මල්ලවාරච්චි විසින්.

සිනමා පටය ගොඩනැඟෙන්නේ ද ඇයගේ චරිතය වටා.

ශ්‍රී ලාංකේය සිනමාවට Lyca Productions අභිමානවත් සම්ප්‍රාප්තිය – අශෝක හඳගමගේ “රාණි” සමඟින්

කවුද මේ රාණි ???? කවුද එතකොට රිචඩ් ද සොයිසා ????

මේ කෙටි සටහන ඒ අතීතය නොදන්නා පිරිස් වෙනුවෙන්

රිචඩ් ද සොයිසා කියන්නෙ නළුවෙකු සේ ම නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ,ලේඛකයෙකු යනාදී බහුවිධ භූමිකාවන් තුළින් එකළ නමක් දිනා සිටි චරිතයක්.

1990 වසරේ පෙබරවාරි 18 වැනි දා ඔහුව පැහැරගැනීමට ලක්වෙනවා.

කතාව එතනින් නතර වෙන්නෙ නෑ… පැහැරගෙන ගිය ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පසුදා එනම් පෙබරවාරි 19 වැනිදා මොරටුව කොරලවැල්ල මුහුදු තීරයෙන් හමුවනවා.

එලෙස ඝාතනය කෙරුණු රිචඩ් ද සොයිසාගේ, ආදරණීය මව තමයි ‘වෛද්‍ය මනෝරාණී සරවනමුත්තු’

සිය පුතුගේ මරණයෙන් පසු ඇය යුක්තිය සොයා යන ගමන කාගෙත් අවදානය දිනූවක්.

ඇය පුත්‍රයා වෙනුවෙන් තනි අරගලයක යෙදෙනවා.

පසුව ඈ ‘මව්වරුන්ගේ පෙරමුණ’ මැයෙන් පෙරමුණක් ද නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරනවා.

ඒ, සිය පුතු වන රිචඩ් ද සොයිසාට සමාන ඉරණමක් අත්වූවන් වෙනුවෙන්.

එයාකාරයෙන් අවදි කළ ඇගේ හඬයි, ‘‍රාණී’ ඔබ වෙත තිළිණ කරනුයේ.

මේ කතාව තුළ විශාල දේශපාලන සහ සමාජීය කතාබහක් අන්තර්ගතයි.

සිනමා පටය ඔබට ඒ ගැන ‘හදවතට දැනෙන ලෙස’ ආවර්ජනය කරනු ඇති.

”මහපොළවට දරාගන්න බැරුව මිනිස්සු
මහමුහුදේ ගිල්ලවද්දි…,
මහමුහුදට, උහුළගන්න බැරුව ඒ අය,
මළ වෙරළට පා කෙරුණා…”

– රාණි –

Share This