අසර්බයිජාන ජනපතිට පුටින්ගෙන් ඇමතුමක්
රුසියාව වරදකරු බව නොකියා සමාව අයදියි
රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් අසර්බයිජානයේ ජනාධිපති ඉල්හැම් අලියෙව් සමඟ දුරකථන සාකච්ඡාවාක් නිරතව තිබෙනවා.
එහිදී රුසියානු ගුවන් සීමාවේදී වාණිජ ගුවන් යානයක් බිම හෙළීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අසල්වැසි අසර්බයිජානයේ ජනාධිපතිවරයාගෙන් සමාව අයැද සිටි බව සඳහන්.
නමුත් ඊට රුසියාව වගකිව යුතු බව පවසා නැති බවයි ක්‍රෙම්ලිනය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.
නත්තල් දින සිදුවූ අනතුර පිළිබඳ ඔහුගේ පළමු අදහස් දැක්වීමේදී, රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති මගින් යුක්රේන ඩ්‍රෝන යානා පලවා හරින විට මෙම ඛේදජනක සිදුවීම සිදුවී ඇති බව ජනපති පුටින් පවසා තිබෙනවා.
මේ පිළිබඳ අදහස් දක්වමින් යුක්රේන ජනාධිපති වොලොඩිමර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාව ප්‍රහාරය පිළිබඳව වැරදි තොරතුරු පතුරුවා හැරීම නැවැත්විය යුතු බවයි.
රුසියානු චෙච්නියා ප්‍රදේශයට ගොඩබෑමට උත්සාහ කිරීමේදී අසර්බයිජාන් ගුවන් යානය රුසියානු ගුවන් ආරක්ෂක හමුදාවෙන් ප්‍රහාරයට ලක්ව ඇති බව විශ්වාස කෙරෙනවා.
ප්‍රහාරයත් සමග අසර්බයිජාන් ගුවන් යානය කසකස්තානයේ අක්ටාවු අසලදී කඩා වැටුණු අතර, එහි ගමන් කළ 67 දෙනාගෙන් 38 දෙනෙකු මිය ගියා.
ගුවන් යානයේ සිටි බොහෝ මගීන් අසර්බයිජානුවන්වන අතර අනෙක් පුද්ගලයින් රුසියාව, කසකස්තානය සහ කිර්ගිස්තානය යන රටවලින් පැමිණි අයයි.
දිවි ගලවා ගත් බොහෝ දෙනෙක් යානයේ පිටුපස අසුන්ගෙන සිටි බව විශ්වාස කෙරෙනවා.
මෙම J2-8243 ගුවන් යානය දෙසැම්බර් 25 වන දින අසර්බයිජානයේ බාකු අගනුවර සිට චෙචන් අගනුවර වන ග්‍රොස්නි වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වුණා.