පෙබරවාරි මාසයේ නිෂ්පාදන හා සේවා ඉහළට

2025 පෙබරවාරි මාසයේ නිෂ්පාදන හා සේවා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව පෙබරවාරි මාසයේදී නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 56.8ක අගයක් වාර්තා කර තිබේ.
එළැඹෙන උත්සව සමයට සාපේක්ෂව නව ඇණවුම් සහ නිෂ්පාදනවල ඉහළ යාම මෙම වර්ධනයට හේතු වී ඇතැයි ද මහ බැංකුව පෙන්වා දෙයි.
මේ අතර ඉහළ යන ඉල්ලුමට සරිලන පරිදි සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් ද ඉහළ ගොස් ඇති අතර සැපයුම්කරුවන් කාර්යබහුල වීම පිළිබිඹු කරමින් ගතවුණු මාසය තුළ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයද ඉහළ ගොස් ඇත.
සේවා අංශයේ ගැනුම්කරුවන්ගේ දර්ශකයද පෙබරවාරි මාසයේදී දර්ශකාංක 56.5ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ඒ සඳහා ණය දීම් ඉහළ යාම නිසා මූල්‍ය හා සේවා සම්බන්ධ ව්‍යාපාර අඛණ්ඩව වර්ධනය වීම, තොග හා සිල්ලර වෙළෙඳාම සහ අධ්‍යාපන ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩිදියුණු වීමද හේතු වී තිබේ. දේපළ වෙළෙඳාම, වෘත්තීය සේවා, නවාතැන් හා ආහාරපාන සැපයීම, රක්ෂණ හා අනෙකුත් පෞද්ගලික සේවා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් ඉහළ යෑමත් මීට හේතු වී තිබේ.
ප්‍රධාන වශයෙන්ම මූල්‍ය සේවා, නවාතැන් හා ආහාරපාන සැපයීම, අධ්‍යාපන, අනෙකුත් පෞද්ගලික සේවා, දේපළ වෙළඳාම හා ප්‍රවාහන ආශ්‍රිත කටයුතුවල වූ වර්ධනයන් සමග ඉකුත් පෙබරවාරියේදී නව ව්‍යාපාරවල ඉහළ යෑමක්ද දක්නට ලැබුණ බව මහ බැංකුව පවසයි.
උත්සව සමය හේතුවෙන් බොහෝ සමාගම් සිදුකළ නව බඳවා ගැනීම් මධ්‍යයේ සේවා නියුක්තිය අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර නිම කිරීමට නියමිත කාර්යයන් ගතවුණු මාසයේදී අඛණ්ඩව වැඩි වේගයකින් පහළ ගොස් ඇත.
- අහුන්ගල්ලේ කමල් ශ්‍රී ලියනගේ