පාසල් දරුවන්ට එරෙහි හිංසන නතර කළ යුතු බව අගමැතිනිය කියයි

පාසල් දරුවන්ට එරෙහි හිංසන නතර කළ යුතු බව අගමැතිනිය කියයි

පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බවත්, තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබියයුතු බවත්, එවැන්නක් වාර්තා වූ වහාම විදුහල්පතිවරුන් විසින් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මේ පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවම්වත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (27) පැවති වැඩසටහනේදී අග්‍රමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.

ළමුන් යනු රජයක මූලික වගකීමක් බවත්, ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් තැබීමෙන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත්, ඔවුන්ගේ උපරිම යහපත වෙනුවෙන් කටයුතු කිරීමටත් බැදී සිටින බවත්, එබැවින් එම වගකීම රජයට මෙන්ම පාසල් පද්ධතිය භාරව කටයුතු කරන රජයේ නියෝජිතයන් වන සියලුම නිලධරයන්ටත් පැවරෙන බවත් පෙන්වා දුන්නාය.

මෑතක සිට වර්තා වන ළමා අපයෝජන දෙස බැලීමේ දී, පාසල් පද්ධතිය තුළ දරුවන්ට මුහුණ දීමට සිදුව ඇති ළමා අපයෝජනවල සංඛ්‍යාත්මක වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, එහෙත් නිවස මෙන් ම පාසල ද දරුවන්ට ආරක්ෂිත හා හිතකර පරිසරයන් විය යුතුව ඇතිබවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දෙමාපියන් දරුවන් පාසල් යවන්නේ පාසලේ විදුහල්පති සහ ගුරුවරුන් කෙරෙහි ඇති විශ්වාස මත බවත්, එබැවින් පාසල දරුවාට කිසිසේත් ම අනාරක්ෂිත ස්ථානයක් බවට පත් නොකළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

පාසල් පද්ධතිය තුළ, ළමුන්ට එරෙහිව සිදු වන කුමන ආකාරයක හෝ හිංසනයන් තව දුරටත් සිදු නොවිය යුතු බවත්, පාසල තුළ දී දරුවා මුහුණ දෙන්නේ ශාරීරික අපයෝජනයකට වුවත්, ලිංගික අපයොජනයකට වුවත්, වෙනත් ආකාරයක නොසළකා හැරීමකට වුවත්, මානසික අපයෝජනයකට වුවත් එය සැඟවීම හෝ එය නොතකා කටයුතු කිරීම නොකළ යුතු බවත් පෙනුවා දුන් අග්‍රාමාත්‍යවරිය, එය සැඟවිය යුතු හෝ නොසලකා හැරිය යුත් කාරණාවක් නොව, පාසලේ ප්‍රධාන බලධරයා වශයෙන් විදුහල්පතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන්නාය.

එබඳු ක්‍රියා නොතකා හරිමින් කටයුතු කරන්නේ නම් එය සමස්ත පාසල් පද්ධතියේ ම අසාර්ථකත්වයට හේතු වන බැවින්, එවන් අවස්ථාවන්හි දී ඉතාමත් ඉක්මනින් සහ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නා ය.ළමා අපයෝජනයට නසි ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වන සෑම විටකම ඊට මුහුණ පෑ දරුවාට ශාරීරිකව සහ මානසිකව ආපසු හැරවිය නොහැකි ආකාරයේ හානියක් සිදු වන බවත්, එබැවින් අවස්ථාවෝචිත මැදිහත්වීමකින් ජීවිතයක් බේරා ගැනීමටත්, ආත්ම ගෞරවය ආරක්ෂා කොට යුක්තිය සහතික කිරීමට හැකියාව ලැබෙන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් නිලධාරීන් ළමුන්ට එරෙහි සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් හඳුනා ගැනීමටත්, වැළැක්වීමට, වාර්තා කිරීමටත් අදාළ දැනුම සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රමෝපායන් පිළිබඳව දැනුම්වත් වීම ඉතාම වැදගත් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, නිරන්තරයෙන් දරුවන් සමඟ සම්බන්ධ වන ඔබ සියලු දෙනා ළමා අයිතිවාසිකම් පිළිබඳවත්, නීතිමය ආරක්ෂණ ක්‍රම පිළිබඳ වත් දැන සිටිය යුතු බවත්, ළමා මනස තෙරුම් ගැනීමටත් දරුවන් සමඟ නිවරදිව කටයුතු කිරීමටත් උපකාරී වන ළමා මනෝවිද්‍යාව හදාරා තිබීමත් ඉතා ම වැදගත් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

දරුවන් තුළ ඇති වන පීඩාවන් හඳුනාගැනීමටත්, දරුවන් තුළ ඇති වන කම්පනය ඔවුන්ගේ ඉගෙනීමට බලපාන ආකාරය තේරුම් ගැනීමටත් දරුවන් වෙත ඉතාමත් සමීපව, සහකම්පනයෙන් යුතුව සැලකිල්ලෙන් ප්‍රතිචාර දැක්වීමට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සේවය කරන නිලධාරින් පුහුණුව ලබා තිබීම මෙන් ම අවශ්‍ය අවස්ථාවේ දී එම දැනුම භාවිතයට තැනීමත් ඉතා වැදගත් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ළමා ආරක්ෂණය පිළිබඳ ව රජයේ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් වැඩි අවධානයක් යොමු කරඇති බවත්, දරුවන්ට එරෙහි අපයෝජන සහ සියලු ආකාරයේ හිංසනයන්ගෙන් දරුවන්ව ආරක්ෂා කිරීම එහි මූලික අරමුණ වශයෙන් සඳහන් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

මෙම අවස්ථාවට විනිසුරු, එල්.ටී. බී. දෙහිදෙනිය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා, කොමසාරිස් මහාචාර්ය ටී. තනරාජ්, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් නිශාන්ති ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් විදුහල්පතිවරුන් මෙම අවස්ථාවට සහභාගී විය.

Share This