සරසවි සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අගමැතිනියගෙන් උපදෙස්

සරසවි සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අගමැතිනියගෙන් උපදෙස්

විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමග ඊයේ (02) පැවති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටළු පිලිබඳව අග්‍රාමාත්‍යවරිය මෙලෙස අදහස් දැක්වූවා.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ගේ අධ්‍යාපනයට බලපාන සියලූ පුරප්පාඩු පිලිබඳ සොයා බලා අවශ්‍ය පරිදි ඒවා සම්පූර්ණ කළ යුතු බවයි ඇය එහිදී පවසා ඇත්තේ.

පසුගිය වසරවල උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරුණු ප්‍රතිපාදන නිසි පරිදි භාවිතයට ගෙන නොමැති බවත්, ඒ හේතුවෙන් වාර්ෂික ඇස්තමේන්තු සැකසීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

විශ්වවිද්‍යාල තුළ සිදුවන ස්ත්‍රි පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයන් පිලිබඳව අවධානය යොමු කළ යුතු බවත්, විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේදී සහ උපාධිය ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදය නතර කිරීමට විශේෂයෙන් අවධානය යොමු වියයුතු බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය,

“විදේශ ණය ආධාර යටතේ මේ රටට ලැබුණ මුදල්වලින් හරියට වැඩ කළා නම් අපේ විශ්වවිද්‍යාල කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් තත්ත්වයට ගේන්න තිබුණා.. නමුත් නිවැරදිව අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව ව්‍යාපෘති නිර්මාණය නොවීමෙන් මුදල් නාස්තියක් සිදුව තිබෙන්නේ.. ඒ වගේම පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙනුත් නිසි ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි.. පෞද්ගලික විශ්ව විද්‍යාලවලට කොමිෂන් සභාව ලබා දෙන අනුමැතිය අවභාවිත කරමින් සමහර ආයතන කටයුතු කරනවා.”

සබරගමුව, පේරාදෙනිය, ඇතුළු විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම, ශිෂ්‍ය සුභ සාධනය, පුහුණු අවස්ථා නිසි පරිදි ලබා දීම මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්ගේ අවධානයට යොමු කළා.

මෙම අවස්ථාවට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති කපිල සෙනෙවිරත්න, උපසභාපති, ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

Share This