ලංකාවට එන ලෙස ජනපතිගෙන් මෝදීට ආරාධනාවක්
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එක්වන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබෙනවා.
ඒ, දෙරට රාජ්‍ය නායකයන් අතර හයිද්‍රාබාද් මැදුරේදී අද (15) පැවැති හමුවකදීයි.
ඉන් අනතුරුව ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් ඉදිරියේ හුවමාරු කර ගත් බවයි, ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනය කළේ.
ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිව ඇති බව තමන් හොඳින් දන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී සිහිපත් කර තිබුණා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳ සතුටු වන බවයි.
අනාගතවාදී දැක්මකින් දෙරට අතර සබඳතාවයට නව මුහුණුවරක් දෙමින් භෞතික, ඩිජිටල් සහ බලශක්ති යන කුළුණු තුන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය දැක්වීමට ද දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව සඳහන්.
ඉන්දීය සංවර්ධන සහයෝගීතාව ඉදිරියට ගෙන යමින් අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර ලබාදීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
ඉන්දීය අධ්‍යාපන සහයෝගිතාව යටතේ ලබන වසරේ සිට යාපනයේ සහ නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලවල සිසුන් 200කට මාසික ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි.
ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයන් 1500ක් ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබෙනවා.
එසේම නිවාස, පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් සමඟ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, කිරි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉන්දියාව සහයෝගීතාවයෙන් කටයුතු කරනු ඇති.
ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.
ආරක්ෂක සහයෝගිතාව (Colombo Security Conclave) යටතේ සමුද්‍ර ආරක්ෂාව, ත්‍රස්තවාදය පිටුදැකීම, සයිබර් ආරක්ෂාව, ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන වැනි විෂයයන් සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.