බහාලුම් නිෂ්කාශනයේ ඇති ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කරන්න ජනපතිගෙන් උපදෙස්

බහාලුම් නිෂ්කාශනයේ ඇති ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කරන්න ජනපතිගෙන් උපදෙස්

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා රේගුව  සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදීයි.

ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම්වල ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ ලෙස  සාකච්ඡා කෙරුණ බව සඳහන්.

මෙහිදී වරාය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන  වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක  කිරීම අවශ්‍ය වනවා.

කෙසේ වෙතත්  මෙම අවස්ථාවේදී පවතින තත්ත්වය නිරාකරණය සඳහා සියලු දෙනා එක්ව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජනාධිපති උපදෙස් පරිදි මෙම අවස්ථාවේදී උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක අතරම එකඟතාවයන් ඇති කර ගත් බව සඳහන්.

ආනයනික බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරමින් පවතින තත්ත්වය නිරාකරණය සඳහා ශ්‍රී ලංකා  රේගු නිලධාරීන්  සතියේ දින හතම පැය විසිහතරම රාජකාරි කිරීමට එකඟතාවය පල කර තිබෙනවා.

පර්යේෂණ මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස UCT (Unity container Terminal) හි ඉඩකඩ වෙන් කිරීමට අමාත්‍යාංශ තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ තිබෙන අක්කර පහක භූමි ප්‍රමාණය  භාවිත කිරීමට මෙහිදී තීරණය කෙරුණා.

ඉන් අක්කර දෙකක ප්‍රමාණයක්  ජනවාරි 31 වනදා වන විට නිදහස් කර ගැනීමටත් ඉතිරි භූමි ප්‍රමාණය පෙබරවාරි 28 වනදා වන විට  ලබා දීමටත් එහිදී තීරණය කළ බව සඳහන්.

හිතා මතා බහාලුම් ප්‍රවාහනය ප්‍රමාද කරන බහාලුම් රථ වරාය පර්යන්තයේ නැවත්වීම මෙම තද බදය උග්‍ර වීමට හේතුවක් ලෙස හඳුනා ගැනීම නිසා මෙම බහාලුම් රථ  නවතා තැබීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදීමට රජය පාර්ශ්වයෙන් එකඟත්වය ලබාදී තිබෙනවා.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හා  ශාක නිරෝධායන අංශයේ සිදුවන ප්‍රමාදයන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වුණා.

එහිදී මෙම ආයතන සතුව සේවක හිඟයක් ඇති බව සාකච්ඡාවට බඳුන් වූ අතර එම පුරප්පාඩු පිරවීමටත් අදාල නිලධාරීන්ගේ සුබසාධන දීමනා වැඩිකිරීමටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

මීට අදාළ මූල්‍ය අවශ්‍යතාවයන් තිබේ නම් එය වරාය අමාත්‍යංශයෙන් ලබා දිය හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී ප්‍රකාශ කළ බව සඳහන්.

ආනයනික බහාලුම් නිෂ්කාශනය සඳහා වේලාවට රාජකාරියට වාර්තා නොකරන වෝහාරික  ලිපිකරුවන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පෞද්ගලික  සංගම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

තවද මෙම සේවකයන් නිවැරදි වෙලාවට සේවයට වාර්තා කිරීමේ වගකීම අදාළ පෞද්ගලික ආයතන සතු වන බවද විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරන කළ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ආහාර ආශ්‍රීත නිෂ්පාදනවලට අදාළව විදේශ රසායනාගාරවලින් පරීක්ෂා කර ලබා ගත් සහතිකය අනිවාර්යයෙන් තිබිය යුතු බව ද එහි අක්‍රමිකතාවක් වුවහොත් ඒ සඳහා රජයේ නීතියට අනුව කටයුතු කරන බවටද ආනයනකරුවන් මෙහි දී එකඟ වුණා.

වරාය පරිශ්‍රය තුළ  බහාලුම් නිෂ්කාශනය සදහා ගාස්තු රහිතව තබා ගැනීමේ කාලය  දින දෙකක් දක්වා අඩු කිරීමට තීරණය කරන ලද අතර එය ලබන ජුනි මාසයෙන් පසුව දින එකක් දක්වා අඩු කිරීමටද අපේක්‍ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මෙම හදිසි ක්‍රියාවලිය ජුනි 30 දක්වා ඉදිරියටත් කරගෙන යාමට කටයුතු කරන බව   ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී සඳහන් කළා.

වරාය, රේගුව සහ අනෙකුත් වරාය ආශ්‍රිත සේවා සපයන පෞද්ගලික සමාගම් එක පවුලක් ලෙස ක්‍රියා කළ යුතු බවද සඳහන් කරන කළ බව සඳහන්.

දැනට මාර්ගයේ නවතා ඇති බහාලුම් රථ සඳහා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස සාකච්ඡාවට පැමිණි වරාය සේවා සපයන සංගම් විසින් ඉල්ලා සිටි බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Share This