අයවැය සකස් කරන හැටි ජනපති කියයි

අයවැය සකස් කරන හැටි ජනපති කියයි

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (21) පැවති පූර්ව සාකච්ඡාවට එක්වෙමින්.

ඵලදායී  හා කාර්යක්ෂම ලෙස ආර්ථික ක්‍රියාවලිය මෙහෙය වීමේදී පොදු ප්‍රවාහනය විධිමත්  කිරීමේ වැදගත්කම මෙන්ම විමධ්‍යගත මන්ත්‍රී  අරමුදල භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත්වීමේ ආකාරය ද, පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ග ද  මේ සාකච්ඡාවේදී සලකා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

පහුගිය රජයන් විමධ්‍යගත අරමුදලට විශාල මුදල් ප්‍රමාණ වෙන් කළ ද එම මුදල් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවා නැහැ.

එම නිසා විමධ්‍යගත අරමුදලේ ප්‍රතිපාදන ජාතික ව්‍යාපෘතිවලට යොදා ගත හැකි අයුරින් වෙන් කිරීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක් වූ බව සඳහන්.

වී මිල දී ගැනීම සඳහා සහල් නිෂ්පාදකයන්ට ලබා දෙන ණය මුදල් වසරක් ඇතුළත නැවත අය කර ගැනීමටත්, එම ව්‍යාපාරිකයන් සතුව තිබෙන සහල් තොග නියාමනය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වුණා.

ඉහළ ස්ථරයේ තිබෙන ආර්ථිකය පහළම ස්ථරය දක්වා විහිදී යන පරිදි ප්‍රසාරණය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලුම පළාත්වලට බෙදී යන ආර්ථික සැලසුමක් සකස් කිරීමේ වැදගත්කමද මෙහිදී සඳහන් කළ බව සඳහන්.

දැනට පවතින සහනාධාර ලබා දෙන ක්‍රමවේද අඩුපාඩු සහිත බැවින් එම අඩුපාඩු හඳුනා ගනිමින්  සහනාධාර අවශ්‍ය ප්‍රජාව නිශ්චය කර ගැනීමේ හා  එම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වී තිබෙනවා.

Share This