අක්කර 36,000ක පොල් වගා කිරීමට සැලසුම්

මෙම වසරේදී අක්කර 36,000ක අලුතින් පොල් වගාව සිදු කිරීමට සැලැසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට එක්වෙමින්, ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඉන් අක්කර 16,000ක් උතුරු පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශවල වගා කිරීමට නියමිතයි.
සෙසු අක්කර 20,000 සෙසු ප්‍රදේශවලට අයත් බව සඳහන්.
පොල් වගාව වැඩිදියුණු කිරීමේ අරමුණින් බීජ පොල් මිලියන 2.5ක් මෙම වසරේදී නිෂ්පාදනය කරන බවයි සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් කියාසිටියේ.
එමෙන්ම මේ වනවිට රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 55,000න්, මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් පොල් වගාව සඳහා මිශ්‍රිත පොහොර මෙට්‍රික් ටොන් 56,00ක් සකස් කරමින් පවතිනවා.
එමගින් අක්කර පහට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බවයි, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියාසිටියේ.
ඒ අනුව එම මිශ්‍රිත පොහොර, වෙළඳපොළ මිල ආසන්න වශයෙන් රුපියල් 9500ක් වන කිලෝග්‍රෑම් 50 පොහොර මිටිය රුපියල් 4,000ක සහන මිලකට මේ මාසය අග වන විට රටපුරා සිටින පොල් වගාකරුවන්ට ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.