එලොන් මස්ක්ගේ පුරවැසිභාවය අවලංගු කරන්න අත්සන් 250,000කට වැඩි පෙත්සමක්

එලොන් මස්ක්ගේ පුරවැසිභාවය සහ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කරන ලෙස කැනඩාවට බල කරමින් කැනේඩියානු පුරවැසියන් සහ පදිංචිකරුවන් 250,000 කට වැඩි පිරිසක් පාර්ලිමේන්තු පෙත්සමකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
ට්‍රම්ප් ලබන මාසයේ සියලුම කැනේඩියානු ආනයන සඳහා 25% ක තීරුබදුවක් අය කිරීමට සැලසුම් කර තිබේ.
එසේම ඔහු 51 වන රාජ්‍යය ලෙස කැනඩාව ඈඳා ගැනීමට යෝජනා කර ඇත. මෙසේ තිබියදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මස්ක්ගේ සම්බන්ධය කැනඩාවේ ජාතික අවශ්‍යතාවයට පටහැනි බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
“ඔහු අපේ මැතිවරණවලට බලපෑම් කිරීමට ඔහුගේ ධනය හා බලය යොදාගෙන තිබේ.
ඔහු දැන් කැනේඩියානු ස්වෛරීභාවය මකා දැමීමට උත්සාහ කරන විදේශීය රජයක සාමාජිකයෙකු බවට පත්ව තිබෙනවා” යනුවෙන් පෙත්සමෙහි සඳහන් කර ඇත.
කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ වෙත යොමු කරන ලද පෙත්සමෙහි එලොන් මස්ක්ගේ ද්විත්ව පුරවැසිභාවය අවලංගු කරන ලෙසත්, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ කැනේඩියානු විදේශ ගමන් බලපත්‍රය අවලංගු කරන ලෙසත් ඉල්ලා සිටී.
දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි උපත ලැබූ මස්ක් කැනඩාවේ උපත ලැබූ ඔහුගේ මව වන මායි මස්ක් හරහා යෞවනයෙකු ලෙස කැනේඩියානු විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇත.
පසුව ඔහු එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගන්නේ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත එක්සත් ජනපදයට පැමිණ දශකයකට පසුය.
සාමාන්‍යයෙන් විද්‍යුත් පාර්ලිමේන්තු පෙත්සමකට අවම වශයෙන් කැනේඩියානුවන් පස් දෙනෙකුගේ මූලික සහාය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අවසරය සහ අත්සන් එකතු කිරීම ආරම්භ කිරීමට පෙර මූලික සමාලෝචනයක් අවශ්‍ය වේ.
මස්ක්ගේ පුරවැසිභාවය අවලංගු කිරීමේ පෙත්සම 2025 ජුනි 20 වන දින දක්වා විවෘතව පවතියි.
ඉන් පසුව පෙත්සම් ලිපිකරුට එහි අත්සන් අවම වශයෙන් 500 ක් නීත්‍යානුකූල බව සහතික කිරීමට සිදුවනු ඇත. එතැන් සිට පෙත්සම විවාදය සඳහා මහජන මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර නව පාර්ලිමේන්තු සැසියක් විවෘත වන තෙක් බලා සිටිය යුතුය.
වාමාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාලි ඇන්ගස් පෙත්සමේ අනුග්‍රාහකයා ලෙස ලැයිස්තුගත කර ඇත.
කැනඩාවේ පුරවැසිභාවය අවලංගු කිරීම සඳහා පූර්වාදර්ශ කිහිපයක් තිබේ.
කෙසේ වෙතත් කැනඩාව නීත්‍යානුකූලව ලබා ගන්නා පුරවැසිභාවය අවලංගු නොකරයි. මෙයින් අදහස් කරන්නේ වංචාවෙන් හෝ වැරදි නිරූපණයකින් පුරවැසිභාවය ලබා නොගත්තේ නම් එලොන් මස්ක්ගේ කැනේඩියානු පුරවැසිභාවය අවලංගු කිරීමට ක්‍රමයක් නොමැති බවය.