ගුවන් යානා භාවිත කිරීම ගැන පාඨලිගෙන් පිළිතුරු

ගුවන් යානා භාවිත කිරීම ගැන පාඨලිගෙන් පිළිතුරු

තමන් කිසිදු අවස්ථාවකදී පොෟද්ගලික හෝ රාජකාරී අවශ්‍යතා සඳහා ගුවන් හමුදාවට අයත් යානා පෞද්ගලිකව ලබාගෙන නොමැති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, හිටපු අමාත්‍යවරුන් 15 දෙනෙකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍ය සඳහා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තාවලට පිළිතුරු ලබා දෙමින්.

එම අමාත්‍යවරුන් වෙනුවෙන් ගුවන් ගමන් වාර 66ක් වෙන් කර තිබූ බවත් ඉන් තුනක් පාඨලි චම්පික රණවක මහතා සඳහා වෙන් කර ඇති බවත් අදාළ වාර්තාවේ සඳහන්.

2019 වසරේ සිට 2020 වසර දක්වා වූ කාලය තුළදී මෙම ගුවන් ගමන් බොහොමයකට රජය විසින් මුදල් වැය කර තිබෙනවා.

අදාළ පුවත්පත මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණේ, තොරතුරු දැනගැනීමේ පනත හරහා ගුවන් හමුදාවෙන් ලබාගත් විස්තරයකට අනුවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් සභාගීවූ ඇතැම් රාජ්‍ය කටයුතු සඳහා තමන් එක්වූ බවයි, පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ.

එම අවස්ථා සඳහා පමණක් ගුවන් යානාවලින් ගමන් කර ඇති බව ද ඔහු කියා සිටියා.

ඒ අනුව රාජ්‍ය මුදල් වැය කිරීම, හිටපු අමාත්‍යවරුන් තමන්ගේ අවශ්‍යතා සඳහා ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිත කිරීම යන කරුණු සමස්තයක් ලෙස සඳහන් කළ ප්‍රවෘත්තිය විකෘති කිරීමක් බවයි, ඔහු හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේ.

මේ සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක් සිදුවී තිබේ නම් රජය විමර්ශන කටයුතු සිදු කළ යුතුයි.

එමෙන්ම තමන් අමාත්‍ය ධුර දරන සමයේ අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනවල අදාළ කාල සීමාවේ කාර්ය සාධක පිළිබඳ තොරතුරු ද තොරතරු දැනගැනීමේ පනත යටතේ ලබාගෙන ප්‍රකාශයට පත් කරන ලෙසයි, පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

Share This