පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි

පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන මැයි 8 සහ 9 රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

එම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ බව ද මහලේකම්වරිය සඳහන් කළාය.

ඒ අනුව මැයි 8 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

අනතුරුව ‍පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා  රේගු ආඥා පනතේ (235 අධිකාරිය වූ) “අ” උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් 2025.04.09 දින ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට මෙහිදී තීරණයවී ඇත.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.

මැයි 9 වැනි සිකුරාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

අනතුරුව පෙ.ව 11.30 සිට  ‍ප.ව 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා 6ක් විවාද කිරීම සඳහා කාලය වෙන් කර ඇති බව සඳහන්ය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න දෙකක් සඳහා කාලය වෙන්කර තිබේ.

Share This