පාර්ලිමේන්තුවේදී අගමැති‌ගෙන් ප්‍රශ්න අහන්න අවස්ථාවක්

පාර්ලිමේන්තුවේදී අගමැති‌ගෙන් ප්‍රශ්න අහන්න අවස්ථාවක්

ජනවාරි මස 07 වැනිදා සිට 10 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 31 වැනිදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි.

ඒ අනුව ජනවාරි මස 07 වැනිදා පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනු ලබන ප්‍රශ්න සඳහායි කාලය වෙන් කර ඇත්තේ.

පෙරවරු 10.30 සිට පස්වරු 05.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන “2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” සම්බන්ධව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වෙනු ඇති.

ජනවාරි 8 වැනිදා බදාදා පෙරවරු 9.30 සිට 10.00 දක්වා  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් අසනු ලබන ප්‍රශ්න 04ක් සඳහා කාලය වෙන් කර ඇති බව සඳහන්.

ඉන් අනතුරු පෙරවරු 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 05ක් සඳහා කාලය වෙන් කර ඇති බවයි, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු නිවේදනය ක‌ළේ.

ඉන් අනතුරුව පස්වරු 05.00 දක්වා දක්වා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගයක්, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ රෙගුලාසි, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගයක් සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි.

එදින පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.

ජනවාරි 09වැනිදා පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බව සඳහන්.

ඉන් අනතුරුව පෙරවරු 10.30 සිට පැයක කාලයක් වෙන් කර ඇත්තේ, දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන විවාදයට ගැනීමටයි.

අනතුරුව පස්වරු 5.30 දක්වා විරුද්ධ පාර්ශවය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟත්වය පළවී ඇති බව සඳහන්.

ජනවාරි 10 වැනි සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි.

ඒ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, එච්.නන්දසේන සහ ටියුඩර් ගුණසේකර යන මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය කර තිබෙනවා.

Share This