දේශබන්දු තෙන්නකෝන්ට විවෘත වරෙන්තුවක්

දේශබන්දු තෙන්නකෝන්ට විවෘත වරෙන්තුවක්

මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමකට අනුවයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදායි.

2023 දෙසැම්බර් 31 වනදා මාතර – වැලිගම – පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළවයි මෙම නියෝගය නිකුත් කෙරුණා.

මෙම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මරණයට පත්ව තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූ බව සඳහන්.

දින 11 ක් තිස්සේ පොලිසිය විසින් සොයමින් සිටි, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (10) සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා.

මෙම පෙත්සම අභියාචනාධිකරණ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (10) සලකා බැලුවා.

එහිදී  විනිසුරු මඩුල්ල නියෝග කළේ, වග උත්තරකරුවන්ට නොතීසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 12 වනදා යළි කැඳවන ලෙසයි.

 

Share This