නුවරඑළිය – උඩුපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය වැසේ

නුවරඑළිය – උඩුපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය වැසේ

නුවරඑළිය – උඩුපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගයේ සෙන්ජෝන්ස් ප්‍රදේශයේ මාර්ගයට යාබදව ඇති පස් කන්දක කොටසක් කඩාැටීමෙන් නුවරඑළිය උඩුපුස්සැල්ලාව මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම නැවතී තිබෙනවා.

එම ස්ථානයේ විශාල පස් කන්දක් නාය යෑමේ අවදානමක් ඇති බැවින්, මේ වනවිටත් යම් කොටසක් නාය යා ඇති බැවින් මෙලෙස ගමනාගමනයට බාධා මතුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම පස් කොටස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර නොමැති බැවින්, එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි රාගල හා කඳපොළ පොලීසිය ජනතාවට දැනුම්දෙන්නේ.

මෙලෙස මාර්ගය අවහිර වීම හේතුවෙන්, එම මාර්ගය හරහා ගමන් කිරීමට නොහැකිව නුවරඑළිය සිට රාගල හා උඩුපුස්සැල්ලාව දක්වා ගමන් කරන ජනතාව සහ එම ප්‍රදේශයන් සිට නුවරඑළිය දක්වා ගමන් කරන මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

කිලෝමීටර් දෙකක පමණ දුරක් තේ වත්ත තුළින් පයින් ගමන් කර දෙපසට බස් මාර්ගයෙන් ගමන් කිරීමට සිදුවන තත්වයක්ද දැකගැනීමටට ලැබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් නාය යාමට ලක්ව තිබෙන ස්ථානයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසත්, එම ස්ථානය තවත් විශාල පස් කන්දක් නාය යෑමේ අවදානම් තත්ත්වයක් මතුව ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම්දෙනවා.

ඒ අනුව විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි එම ඒකකය මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

Share This