NMRA දත්ත වංචාව සහ පාස්පෝට් වංචාව ගැන විමර්ශන ප්‍රමාදය සැකයි

එකම අන්තර්ජාල සපයන සමාගමක් මගින් සිදුකරන ලද වංචා ක්‍රියා දෙකක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කරන ලද නමුත් නව රජය යටතේ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොවීම කනගාටුවට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සම්බන්ධයෙන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් පාස්පෝට් මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩර් ලබා දීමේදී සිදු වී ඇති ප්‍රසම්පාදන අක්‍රමිකතා සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කරන ලද පැමිණි වල ප්‍රගතිය විමසා බැලීම සඳහා වෘත්තිය හා සිවිල් සංවිධාන නියෝජිතයින් අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු ඒ බව සඳහන් කළේය.
තෝරා ගත් එක් සමාගමකට පමණක් නිසි ප්‍රසම්පාදන යාන්ත්‍රණයන්ට පටහැනි අන්දමට සහ රටේ පැවති උද්ධමන අනුපාතයන් නොසලකා ඉහළ මිල ගණන්වලට පාස්පෝට් මුද්‍රණය කිරීම සඳහා අදාළ ටෙන්ඩරය ලබා දී ඇති බවත් 2003 වසරේ සිට මේ දක්වා වසර විසි දෙකකට ආසන්න කාලයක් මෙම අක්‍රමිකතාව අඛණ්ඩව සිදු වී ඇති බවත් ඔහු පෙන්නුම් කළේය. අදාළ පාලන කාලවලදී ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරව සිටි සියලුම අමාත්‍යවරුන් හා කොමසාරිස් ජෙනරාල්වරුන් මෙම වංචාව සම්බන්ධයෙන් වගකිවයුතු බව ද ඔහු සඳහන් කළේය.
මේ අන්දමට තෝරාගත් එක් සමාගමකට පමණක් නිසි පරිදි ප්‍රසම්පාදන යාන්ත්‍රණයන්ට යටත් නොවී අත්තනෝමතික ලෙස පාස්පෝර්ට් මුද්‍රණයට අවස්ථාව ලබා දීම නිසා රජයට සිදුවී ඇති අලාභය කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ මෙන් තවත් බස් නැවතුම්පළවල් දහයකට අධික ප්‍රමාණයක් නඩත්තු කිරීමට තරම් අධික ආර්ථික කලාපයක් බව ද ඔහු පවසයි.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සම්බන්ධයෙන් ද මේ අන්දමටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළත් එම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බවත් අදාළ අධිකරණමේ කටයුත්ත නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යළි යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු යුතු බව ද ඔහු පෙන්වා දෙයි. නියාමනාධිකාරියේ දත්ත වංචාව සිදු වන විට සේවය කළ ඉහළ නිලධාරීන් රැසක් තවදුරටත් විවිධ ඉහළ තනතුරු දැරීම මෙම විමර්ශනවල සත්‍යතාවය හෙළිකර ගැනීමට බාධාවක් බව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දෙන ලද නමුත් ඔහු ඒ සම්බන්ධව නොසැලකිල්ලක් දැක්වීම ගැනද වෛද්‍ය චමල් සංජීව මහතා තමා අප්‍රසාදය පළ කළේය. දැනටමත් රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියට ප්‍රසම්පාදන ක්‍රියා සම්බන්ධව ඉතා පැහැදිලිව අධිකරණය පවා උපදෙස් ලබා දී ඇති තත්ත්වයක් යටතේ අදාළ කරුණු උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේද තමන් දැඩි ලෙස අවධානයෙන් පසුවන ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී පොලීසිය බාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිනයක් ඉල්ලා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
දේශපාලන හිතවත්කම්වලින් තොරව මෙම විමර්ශන කඩිනමින් සිදු කොට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණීමට ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේය