විදුලිබිල අඩු කිරීම ගැන ඇමති ජයකොඩිගෙන් ප්‍රකාශයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ පරිදි විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට වසර තුනක් පමණ ගත වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
“විදුලිබිල අඩු කරන එක තමා අපේ අරමුණ. දවසින් දෙකෙන් අඩු කරනවා කියලා අපි කොහෙවත් කියලා නැහැ. අපි අවුරුදු තුනක් ඇතුළත කරන්න යන්නේ. විශේෂයෙන්ම පසුගිය පාලනයන් විසින් කරන දුෂිත සහ අක්‍රමවත් පාලනයන්වල ප්‍රතිඵල ජනතාවට විඳින්න වෙලා තියෙනවා.
විදුලිබල මණ්ඩලය මිලියන 332ක ණයකින් පෙළෙනවා. අවුරුදු විස්සකට වැඩි මිලට විදුලිය ගන්න ගිවිසුම් ගහලා තියෙන්නේ. විදුලිබල මණ්ඩලයෙන් මූලික ගණනය කිරීම ලැබුණේ, සියයට 37ක් වැඩි කරන්න. අපි එහෙම තියෙන කොට තමා අපි මේ වගේ සියයට එකයි දශම ගාණට හරි ගෙනල්ලා තියෙන්නේ.
අපි කියලා තියෙන්නේ, අවුරුදු තුනක් ඇතුළත විදුලි බිල අඩු කරනවා කියලා. ඊට කලින් අඩු කරන්න අපිට අනිවාර්ය වුවමනාවක් තියෙනවා. ඒකට අවශ්‍ය සැලැසුම් සහ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. මේක හොඳින් තිබිච්ච තැනක් නෙවෙයි.”