රුසියාවෙන් සෙලෙන්ස්කිගේ උපන් ගමට දැවැන්ත ප්‍රහාරයක්

යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන කිවි රිහ් නගරය වෙත රුසියාව විසින් දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ. මෙය 2022 දී ගැටුම ආරම්භ වූ නගරයට එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස සැලකේ.
ප්‍රහාරයේදී 28 Shahed වර්ගයේ ඩ්‍රෝන සහ බැලස්ටික් මිසයිලයක් නගරය වෙත එල්ල කර තිබේ. මෙහිදී නගරයේ කාර්මික ආයතනයක් විනාශ වී ඇති අතර විදුලිය සහ ජල සැපයුම් බිඳ වැටී ඇත. ප්‍රහාරයෙන් 17 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා ඇති අතර වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට උත්සහ කරමින් සිටින බව වාර්තා වේ.
මීට අමතරව වින්නිට්සියා සහ ඛාර්කීව් නගරවලද ඩ්‍රෝන ප්‍රහාර සිදුවී ඇත. එහිදී පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇති අතර දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රහාරයේ බලපෑම සුළුපටු නොවේ. අදාළ නගරවල ගින්නක් ඇති වී ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ කණ්ඩායම් යොදවා තිබේ. එසේම නගරවාසීන්ට ආරක්ෂිත ස්ථානවලට පිවිසෙන්නැයි බලධාරීහු උපදෙස් ලබා දී ඇත.
ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ රුසියාව සාමය නොසොයනා බවත්, ඔවුන් දියත් කරනු ලබන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් හැඟවෙන්නේ ඔවුන්ට යුද්ධය දිගටම කරගෙන යාමට අවශ්‍ය වන බවයි.
මෙහිදී ජාත්‍යන්තරය ද ප්‍රතිචාර දක්වා ඇත. එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අවවාදයක් දෙමින් පවසා ඇත්තේ දින 50ක් ඇතුළත සාම ගිවිසුමකට පැමිණෙන ලෙසයි. මේ අතර නේටෝ සහ යුරෝපා සංගමයේ රටවල් යුක්රේනයට වායු ආරක්ෂණ පද්ධති සහ අතිරේක උපකරණ ලබා දීමට කටයුතු කරමින් සිටියි. එසේම යුක්රේන පාර්ලිමේන්තුව ආරක්ෂණ වියදම් වැඩි කිරීමට සහ නව ආරක්ෂණ උපකරණ සඳහා අරමුදල් වෙන් කිරීමට එකඟ වී ඇත.
සඳුනි තිලකරත්න