මිනුවන්ගොඩදී වෙඩි කෑ පුද්ගලයාගේ තොරතුරු රැසක් එළියට

(සමන් ගමගේ)
යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනකු අද (26) පෙරවරු 1.00 ට පමණ මිනුවන්ගොඩ පත්දඬුවන හන්දියේදී හන්දියේදී කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියැදුරකු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහලට මාරුකර යවා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූ පුද්ගලයා පත්දඬුවන හන්දියේ පිහිටි ත්‍රිරෝද රථ ගාලේ ත්‍රිරෝද රථයක් තුළ සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි කොටගම මුදියන්සේලාගේ ලහිරු රන්දීර් නමැති 38 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි.
ඔහුගේ දකුණු පාදයට, දකුණු අතට සහ වම් කම්මුලට වෙජි ප්‍රහාරය එල්ල වී තිබෙන බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
තුවාල ලැබූ අය පාතාල ප්‍රබලයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ සමීප මිතුරකු බවට තොරතුරු ලැබී තිබෙන අතර මෙම වෙඩි තැබීම ගනේමුල්ලේ සංජීව ඝාතනයට පලි ගැනීමක් ලෙසින් සිදු කරන්නට ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් පසුව වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදියෙන්ම පලා ගොස් ඇති අතර වසරේ මේ දක්වා ගෙවී ගිය කාලය තුළ සිදුවූ දොළොස්වැනි පාතාල වෙඩි තැබීම මෙය වේ.
වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිසිය සහ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.