පාසල් දැරියක වෑන් රථයකින් පැහැරගැනීමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට

පාසල් දැරියක වෑන් රථයකින් පැහැරගැනීමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට

දිවුගල ප්‍රදේශයේ 19 හැවිරිදි පාසල් දැරියක් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඇය ඊයේ (11) පෙරවරුවේ පෞද්ගලික පන්තියකට සහභාගීවීම සඳහා නගරයට යමින් සිටියදීයි මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇති බව සඳහන්.

කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් අදාළ දැරිය පැහැරගෙන ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර අනතුරුව එම මුදල රුපියල් ලක්ෂ 30 දක්වා අඩු කර තිබෙනවා.

සිසුවියගේ පියා සතු වෑන් රථය ද ඉල්ලා ඇති බව සඳහන්.

දැරියගේ පියට රුපියල් ලක්ෂ 02ක මුදලක් ගිණුමට බැර කරන ලෙස දැනුම්දී ඇති අතර ඊට පිළිතුරු ලෙස රුපියල් 50,000ක මුදලක් අදාළ ගිණුමට බැර කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ පැහැර ගැනීම සිදු කර ඇත්තේ, එම සිසුවියගේ මස්සිනා කෙනෙකු බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එම සිසුවිය පාසල් නිල ඇඳුමින් සැරසී මිතුරිය සමඟ පංතියට යමින් සිටිය දී ඔවුන් එන අතරමග නතර කර තිබෙන වෑන් රථයෙන් බසින ඇගේ ඥාති සහෝදරයා බලහත්කාරයෙන් ඇයව වෑන් රථයට නන්වා ගන්නා සී.සී.ටී.වී කැමරාවේ පටිගත වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ එක් තරුණයෙකු ඇයව බේරා ගැනීම සඳහා වෑන් රථයේ එල්ලී මීටර් 500ක පමණ දුරක් ගමන් ගෙන තිබෙන අතර ඔහුට පහර දී බිම දැමීමටයි සැකකරු කටයුතු කර තිබුණේ.

ඒ ආසන්නයේ තිබූ යතුරු පැදියකින් කිලෝ මීටර් 20ක පමණ දුරක් පාසල් ගුරුවරයෙකු වෑන් රථය ලුහුබැඳ ගොස් තිබෙනවා.

කටුගස්තොට නගරයේ දී ඔහුට වෑන් රථය මග හැරී තිබෙන අතර පසුව අදාළ වෑන් රථය පොළොන්නරුව නගරය  ආසන්නයේ අතහැර දමාගොස් තිබිය දී පොලීසිය විසින් ඊයේ (11) සොයාගෙන තිබූ බව සඳහන්.

වාහන කුළියට ලබාදෙන ස්ථානය මගින් වෑන් රථයේ GPS තාක්ෂණ උපාංග සවිකර තිබීම නිසා වෑන් රථය සොයා ගැනීම පහසු වූ බවයි පොලීසිය සඳහන් කළේ.

සිසුවිය පැහැරගත් අවස්ථාවේ වෑන් රථය පැදවූ දවුලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ අත්හැර දමා යළි නිවසට පැමිණෙමින් සිටිය දී දවුලගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ගනු ලැබුවා.

දහනව හැවිරිදි සිසුවිය සැකකරු ගේ මවගේ සහෝදරයාගේ දියණිය බවත් සැකකරු පැහැර ගැනීමට ලක් වූ තරුණිය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

සිසුවියගේ පාර්ශවය පවසන්නේ කලක් ජපානයේ රැකියාවක් කර තිබෙන සැකකරු මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටින බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Share This