දරුවන් ගැන හිතලා තීරණ ගන්න – අග්‍රාමාත්‍ය හරිනි

දරුවන් ගැන හිතලා තීරණ ගන්න – අග්‍රාමාත්‍ය හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාසල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දෙමින් පාසල් දියුණු කිරීමට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පලාත් සහ කලාප මට්ටමින් ලැබිය යුතු දායකත්වය පිළිබඳ ආණ්ඩුකාරවරුන් සහ පළාත් ලේකම්වරුන් දැනුවත් කරමින් පසුගිය 05 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

“ඉතාම හොදින් සැලසුම් කරමින් ක්‍රියාත්මක කරන්න නියමිත අධ්‍යාපනය පරිවර්තනය පිළිබඳ සාකච්ඡා කර නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පළාත් සභාවල සහය අවශ්‍යයි. ජාතික ප්‍රතිපත්තිය සහ පළාත් සභා ක්‍රියාවලිය ඒකාබද්ධ කරමින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්ති වල පරස්පරතාවයක් ඇති නොවන විදිහට පවත්වාගෙන යෑමේ වැදගත්කම අපිට හොඳටම දැනිලා තියෙනවා. විශේෂයෙන්ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණ වෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමයි. ඒකේ අවසාන ප්‍රතිලාභය ලැබිය යුත්තේ පාසල් යන දරුවන්ට සහ ඒ දෙමව්පියන්ට වගේම ඒ පවුලටයි. අපි ගන්න හැම තීරණයක්ම ගත යුත්තේ දරුවා ගැන හිතලයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී අපිට අභියෝග දෙකක් තියෙනවා. එකක් පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නත් ඕනේ. වෙනස් කරන ගමන් තියෙන ක්‍රමවේදය ටික කාලයකට පවත්වාගෙන යන්නත් ඕනේ.

කාලයක් තිස්සේ ගත්ත තීරණ නිසා ඇතිවෙලා තියෙන ගැටළුත් අපි විසඳන ගමන් අපිට මේ පරිවර්තනය කරන්න සිදු වෙලා තිබෙනවා.”

Share This