මහින්ද ජයසිංහත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි

ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මෙන්ම කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (18) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ සමාජ මාධ්‍ය ඔස්සේ තමා සහ සිය දියණිය සම්බන්ධයෙන් සංසරණය වන අතිශය සාවද්‍ය සහ ද්වේශ සහගත පුවතක් සම්බන්ධයෙනි.
අදාළ ව්‍යාජ පුවත මහින්ද ජයසිංහ මහතාගේ සහ ඔහුගේ දියණියගේ ඡායාරූප සහිතව පළකර ඇති අතර එහි දක්වා ඇත්තේ කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී ජයසිංහ මහතා විසින් සිය දියණියගේ උපන්දිනය පවත්වා ඇති බවයි.
ඊට අදාළව දැඩි අපහාසාත්මක සහ ද්වේශ සහගත කරුණුද එම සාවද්‍ය පුවතේ දක්වා ඇත.
මේ සම්බන්ධයෙන් මහින්ද ජයසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ අදාළ උපන්දින උත්සවය සිය වැඩිමහල් දියණිය විසින් 2023 වසරේ අප්‍රේල් මස 16 වන දින ගිරිඋල්ල ප්‍රදේශයේදී සංවිධාන කර තිබූ බවයි.
කැලණිය විශ්වවිද්‍යලයේ උපාධිධාරිනියක වන ඇය පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන බවද ඒ මහතා අවධාරණය කරයි.
වංචාව, දූෂණයට එරෙහි ශ්‍රී ලංකාවේ එකම දේශපාලන ව්‍යාපාරය වන ජාතික ජන බලවේගයේ පූර්ණ කාලීන දේශපාලනයේ නිරත තමාට මෙන්ම තම දේශපාලන ව්‍යාපාරයටද අදාළ පුවත මගින් බරපතල අපහාසයක් සිදුවන බව මහින්ද ජයසිංහ මහතා සිය පැමිණිල්ලේ දක්වා තිබේ.
එමෙන්ම සිය දියණිය ඇතුලු පවුලේ සාමාජිකයින්ටද මේ අසත්‍ය පුවත මගින් ද්වේශ සහගත සහ හිතාමතාම අපහාස සිදුකර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව, අදාළ අයුක්ති සහගත, ද්වේශ සහගත මෙන්ම සාවද්‍ය පුවත සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ පාර්ශවවලට එරෙහිව නීතිමය ක්‍රියමාර්ග ගන්නා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සිය පැමිණිල්ල මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි.