LPL තරග පාවාදීමට බලපෑම් කළ දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට අධිචෝදනා

LPL  තරග පාවාදීමට බලපෑම් කළ දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට අධිචෝදනා

(අකිලා නදීෂානි බණ්ඩාර)
2024 වසරේ දඹුල්ලේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන් නමැත්තාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි.
මෙම නඩුව 12දා කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා විත්තිකරුට භාරදීම සිදු කෙරිණි.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 02ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේය.
මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකරු පසුව ඇප මත මුදාහැරුණු බව කියා සිටියේය.
මෙම විත්තිකරු බි්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයකු බවත් මෙම නඩුකරය හේතුවෙන් විත්තිකරු වසර එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින අතර මේ හේතුවෙන් ඔහුගේ පෞද්ගලික කටයුතු මෙන්ම ව්‍යපාරික කටයුතුත් අඬාල වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
ඒ අනුව මෙම විත්තිකරු මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට සූදානම් බවත් ඒ පිළිබඳ තමන් නීතිපතිවරයා වෙත වාචිකව හා ලිඛිතව කරුණු සැලකිරීම් සිදුකර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ, විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
ඉන් අනතුරුව නඩුව දෙසැම්බර් මස 8 වැනි දා කැඳවීමටද නියෝග කෙරිණි.

Share This