සියළු දෙනාම අධිෂ්ඨානශීලීව එකාවන්ව එළඹෙන 2025 වසරට ගමන් කරමු

අග්‍රාමාත්‍යවරියගේ අලුත් අවුරුදු පණිවුඩය

සියළු දෙනාම අධිෂ්ඨානශීලීව එකාවන්ව එළඹෙන 2025 වසරට ගමන් කරමු

 

ලැබුවා වූ 2025 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

සියළු දෙනාම අධිෂ්ඨානශීලීව එකාවන්ව එළඹෙන 2025 වසරට ගමන් කරමු යන්නයි අග්‍රාමාත්‍යවරිය සිය සුබ පැතුම් පණිවුඩයේ දක්වා ඇත්තේ.

උපුටා ගැනීම..

ශ්‍රී ලාංකික අපට පසුගිය 2024 වසර සැබවින්ම පරිවර්තනීය වසරක් විය. භේදයකින් තොරව එකට එක්ව සංවේදී, පිරිසිදු හා ජනතාව කේන්ද්‍ර කරගත් දේශපාලන සංස්කෘතික වෙනසක් මෙරට ජනතාව තෝරාගෙන ඇත.

වගකිවයුතු රජයක් ලෙස අපි ආර්ථිකය, කර්මාන්ත, අධ්‍යාපන ඇතුළු විවිධ තීරණාත්මක ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටිමු. සෑම පුරවැසියෙකුටම ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සාමකාමී, නිදහස්, ගෞරවනීය සහ තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි අනාගතයක් නිර්මාණය කිරීම අපගේ දැක්මයි.

පසුගිය කාලය තුළ ජාතියක් ලෙස එක්සත් වීමට අපට අවස්ථා කිහිපයක් ලැබුණ නමුත් එම අවස්ථාවන්හි නිසි ඵල ලබා ගැනීමට අප අසමත් විය. කෙසේ වෙතත්, මෙම ලැබුණු අවස්ථාව මග නොහැර, රැක ගැනීමට සාමූහිකව කටයුතු කළ යුතුය. මේ තීරණාත්මක මොහොතේ රජය මහජනතාවට සේවය කිරීමට පූර්ණ වශයෙන් කැපවී සිටී. අධිෂ්ඨානශීලීව එකාවන්ව එළඹෙන 2025 වසරට ගමන් කරමු යැයි මම ඔබට ඇරයුම් කරන්නෙමි.

දීප්තිමත් අනාගතයක් කරා යන ගමන අභියෝගාත්මක වන අතරම, එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අපි දැනටමත් සැලකිය යුතු පියවර රැසක් ගෙන ඇත්තෙමු. 2025 වසර සාමකාමී, ප්‍රීතිමත් සහ සමෘද්ධිමත් වේවායි සියලු පුරවැසියන් වෙත මගේ සුබ පැතුම් පිරිණමමි.

නව වසර සාර්ථක කර ගැනීමටත්, අප රටට යහපත් අනාගතයක් උදාකිරීමටත් අප හා එක්වන ලෙස සියලු දෙනාටම නව වසර ආරම්භ කරන මේ මොහොතේ මම ආරාධනා කරමි. ලෝකය තුළ අභිමානවත් සහ සමෘද්ධිමත් ජාතියක් ලෙස “ශ්‍රී ලංකාව” යන නාමය බැබළවීමට අප සැම එක්ව කටයුතු කරමු.

උපුටා ගැනීම අවසන්..

Share This