ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ගිවිසුමට අවසන් මොහොතේ වෙනස්කම්?

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ගිවිසුමට අවසන් මොහොතේ වෙනස්කම්?

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගනුදෙනුවට හමාස් සංවිධානය එකඟ වී ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසනවා.

ගාසා සටන් විරාම ගිවිසුම අනුමත කිරීම සඳහා අගමැති නෙතන්යාහු කැබිනට් ඡන්දය ප්‍රමාද කළේ හමාස් සංවිධානය ගිවිසුමට අවසාන මොහොතේ වෙනස්කම් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරමින්.

නමුත් අද උදෑසන ඔහුගේ කාර්යාලය පැවසුවේ ගිවිසුම පිළිබඳ ගිවිසුම්වලට එළඹ ඇති බව සාකච්ඡා කණ්ඩායම විසින් අගමැති නෙතන්යාහුට දැනුම් දී ඇති බවයි.

පසුව දේශපාලන-ආරක්ෂක කැබිනට් මණ්ඩලයට රැස්වීමට ඔහු නියෝග කර ඇති අතර රජය ඉන්පසු ගිවිසුම අනුමත කිරීම සඳහා රැස්වනු ඇති බවත් අගමැති නෙතන්යාහුගේ කාර්යාලය පවසනවා.

ඒ අනුව නිදහස් කෙරෙන ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වලට දැනුම් දී ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.

ඊශ්‍රායලය, හමාස් සංවිධානය, අමෙරිකා එක්සත් ජනපදය සහ කටාර් නියෝජිතයින් දෝහාහිදී නිල වශයෙන් ගිවිසුමට අත්සන් තබා ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සටන් විරාම ගිවිසුම ප්‍රථම වරට බදාදා ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමරිකා එක්සත් ජනපදය සහ කටාර් මැදිහත්කරුවන් විසින්.

ඉන් අනතුරුව කටාර් අගමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් අල් තානි පැවසුවේ ඊශ්‍රායල කැබිනට් අනුමැතිය ලැබුණු පසු ගිවිසුම ඉරිදා සිට බලාත්මක වන බවයි.

ඉන්පසු අහ්ගමැති නෙතන්යාහු බ්‍රහස්පතින්දා ගිවිසුම අනුමත කිරීම සඳහා කැබිනට් ඡන්දය ප්‍රමාද කළේ හමාස් සංවිධානය “අවසාන මොහොතේ සහන ලබා ගැනීමට” උත්සාහ කරන බවට චෝදනා කරමින්.

හමාස් ගිවිසුමට කැපවී සිටින බව පැවසූ නමුත්, ගිවිසුම යටතේ නිදහස් කරනු ලබන පලස්තීන සිරකරුවන්ගේ ලැයිස්තුවට තම සාමාජිකයින් කිහිප දෙනෙකු එකතු කිරීමට උත්සාහ කරන බවට බීබීසීය සඳහන් කරනවා.

මාස ගණනක සාකච්ඡාවලින් පසුව සිදුවන මෙම ගිවිසුමට ඊශ්‍රායල සාකච්ඡාකරුවන් එකඟ වී ඇතත්, ආරක්ෂක කැබිනට් මණ්ඩලය සහ රජය විසින් එය අනුමත කරන තුරු එය ක්‍රියාත්මක කළ නොහැකි බව සඳහන්.

Share This