‘ටුවිටර් ඝාතකයා’ ට ජපානයෙන් මරණ දඬුවම

සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයන් 9දෙනෙකු ඝාතනය කළ පුද්ගලයකුට ජපානය මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. මෙසේ මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත්තේ ‘ටුවිටර් ඝාතකයා’ ලෙස හැඳින්වූ 34 හැවිරිදි ටකාහිරෝ ශිරායිෂිට ය. (කලින් ටුවිටර් ලෙස හැඳින්වූ සමාජ මාධ්‍ය වේදිකාව මේවන විට හඳුන්වන්නේ X ලෙසයි) ඒ අනුව වසර තුනකට පසු ජපානයේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
ඔහුට මරණ දඬුවම හිමිව ඇත්තේ 2017 වසරේ සිට සිදුකරන ලද ඝාතන මාලාව සම්බන්ධයෙනි. තරුණ පිරිසට උදව් කරන ආකාරයට X හරහා පෙනී සිටිමින් ඔහු වයස අවුරුදු 15ත් 26ත් අතර පසුවන පිරිස් ඝාතනය කර තිබේ. මෙහිදී ඔහු තරුන පිරිසගේ විශ්වාසය දිනාගෙන ඇත්තේ තමාට ඔවුන්ගේ සැලසුම්වලට උදව් කළ හැකි බව පවසමිනි. ඔහු ඝාතනය කළ එක් අයකු හැර අනෙක් සියල්ලෝම කාන්තාවන් බව අනාවරණය කරගෙන ඇත.
තෝකියෝවේ සිට කිලෝමීටර 60ක් පමණ දුරින් පිහිටි සමා නගරයේ ඔහුගේ මහල් නිවාසයේ දී පුද්ගලයන් 9දෙනෙකුගේ ගෙල සිර කර මරා දමා, සිරුරු කැබලිවලට කපා දැමීම සම්බන්ධයෙන් ටකාහිරෝට 2020දී මරණ දඬුවම හිමිව ඇත.
සාක්ෂි සැඟවීම සඳහා ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ මළ සිරුරු කැබලිවලට කපා ශීතකරණයේ සහ මෙවලම් පෙට්ටිවල දමා මහල් නිවාසය වටේ සඟවා තබා ඇත. ඒවා අපද්‍රව්‍ය මුවාවෙන් සඟවා තැබීම නිසා පිටස්තර අයගේ ඇස නොගැටෙනු ඇතැයි ඔහු අපේක්ෂා කර ඇත.
අධිකරණය විසින් ටකාහිරෝගෙන් මෙම ඝාතන මාලාවට හේතුව විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් දිවි නසාගැනීමේ සිතිවිලිවලින් පෙළුණු බවත්, එම කැමැත්ත මෙම ඝාතනවලට හේතු වූ බවත්ය. නමුත්, විනිසුරුවරයකු එම තර්කය ප්‍රතික්ෂේප කළේ ඔහුගේ අපරාධ ඉතා දරුණු සහ කපටි බව ප්‍රකාශ කරමිනි.
කාලයක් තිස්සේ සැඟව තිබූ මෙම ඝාතන මාලාව පිළිබඳ පළමුවරට අනාවරණය වන්නේ 2017දී කාන්තාවකගේ අතුරුදන්වීමත් සමගය. 23 හැවිරිදි ඇයට දිවි නසා ගැනීමට අවශ්‍ය බව Xහි සඳහන් කිරීමත් සමග ඇය අතුරුදන්ව තිබේ. මෙම කාන්තාවගේ අතුරුදන්වීමත් සමග ඇගේ සහෝදරයා ඇයගේ X ගිණුමට ප්‍රවේශ වී ඇත. එහිදී ලබාගත් තොරතුරු මත පොලිසිය ටකාහිරෝගේ නිවසට ගොස් ඇත. එහිදී පොලිසියට කැබලි කරන ලද සිරුරු 9ක් හමුවී ඇත.
ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළ අධිකරණ අමාත්‍ය කීසුකේ සුසුකි පැවසුවේ ඔහුගේ අපරාධවලට මංකොල්ලකෑම, දූෂනය, මිනීමැරීම, මළ සිරුරක් විනාශ කිරීම සහ මළ සිරුරක් අතහැර දැමීම යන චෝදනා ඇතුළත් බවයි.
නමුත් ඔහුගේ නීතිඳයන් තර්ක කළේ ඔහුට මරණ දඬුවම ලබා දීමට වඩා සිර දඬුවමක් ලබා දීම සුදුසු වන බවයි.
සඳුනි තිලකරත්න