ඊශ්‍රායලය ගාසාවල කරන්නේ වර්ග සංහාරයක්ද?

අතරින් පතර ගොඩනැගිලි සුන්බුන් මතින් ඇවිද යන කුඩා දරුවන් කිහිප දෙනෙකි. ඉඳහිට මහා මාර්ගයක ඇදෙන දූවිලි තැවරුණු මෝටර් රථයකි. නිරන්තරයෙන් ඇසෙන කලාපය වසා පැතිරෙන සයිරන් නළා හඬය. ඊට මොහොතකට පසු මාර්ගයේ ගමන් කරන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉතිරි වී ඇති ගිලන් රථයකි.
මුළු ගාසා තීරයම අමු සොහොනක් බවට පත් වෙමින් ඇත. මොහොතක් පාසා ගාසා තීරයට එල්ල වන බෝම්බ සහ වෙඩි උණ්ඩ හමුවේ ජීවිතය යදින අහිංසක සිවිල් ජීවිතවලට කාගේ නම් සරණක්ද? ඊශ්‍රායල-ගාසා ගැටුම දෙපාර්ශ්වයේම සාමාන්‍ය සිවිල් වැසියන්ට අත්කර දී ඇත්තේ බිහිසුණු ඉරණමකි. යුද්ධයෙන් ජයගත හැකි දෙයක් නොමැති බව ඔවුන් තවමත් වටහාගෙන නොමැත. පසුගිය කාලය තුළ ගාසාවේ සෑම තැනකටම ඊශ්‍රායල බෝම්බ සහ වෙඩි උණ්ඩ එල්ල විය. 2023 ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වූ ඊශ්‍රායල-හමාස් යුද්ධය මේ වන විට ගාසා තීරය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ. දරුවන්ට සෙල්ලම් කිරීමට සෙල්ලම් පිටියක් නැත. උදේ සවස ඔවුන් දිව යන්නේ යුද පිටියක් හරහාය. පාසල් සියල්ලම පාහේ විනාශ වී ගොස්ය. ඔවුන්ගේ හෙට දවස ගැන බලාපොරොත්තුවක සේයාවකුදු නැත. ඉකුත් මාසයක විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගතවන සෑම මිනිත්තුවකට වරක් ගාසාවේ දරුවකු මියයන බවයි. ගැබිනි මවුවරුන්ට හෙට බිහිවන ඔවුන්ගේ කුඩා බිලිඳාගේ ජීවිතය ගැන කිසිදු ආරක්ෂාකාරී හැඟීමක් නැත. ඔවුන්ගේ එකම පිහිට සේ සිතන්නේ කොහේ හෝ තැනක ඉතිරි වී ඇති පල්ලියකට ගොස් දෙවියන් යැද, නිදහසේ හුස්ම පොදක් ගැනීමට ඉඩ සලසා දෙන ලෙසට දෙවියන්ට කරන කන්නලව් පමණි. මේ සා විශාල මිනිසුන් ප්‍රමාණයකට මරණය කැඳවමින් ඊශ්‍රායලය විසින් නොනවත්වා ගාසා තීරයට එල්ල කරනු ලබන ප්‍රහාර හමුවේ මතුවන එක් ගැටලුවකි. එනම්, ඊශ්‍රායලය ගාසා තීරයට පහර දෙමින් සිදු කරන්නේ ජන සංහාරයක්දැයි කියාය.
ගාසා තීරය යළි ගොඩනැගිය යුතුය. ඉතිරි වී ඇති සිවිල් වැසියන්ට හෝ ජීවත් වීමට අවස්ථාව සලසා දිය යුතුය. එහෙත් එය ලෙහෙසියෙන් කළ හැකි දෙයක් නොවේ. පසුගිය කාලය තුළ ගාසාවේ සිදුවූ විනාශයේ ප්‍රමාණය මේ යැයි කිව නොහැකි තරම් විශාලය. එහි නිවාස 79,000ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ගොස්ය. තැනින් තැන අටවාගත් කූඩාරමක දවස ගෙවන ලොකු කුඩා සිවිල් වැසියන් රැසකි. ඔවුන්ට කුසගින්න නිවා ගැනීමට වතුර පොදක් හෝ සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. ජුනි මාසය වන විට ආහාර හිඟය නිසා මියගිය ළමුන් ගණන 61ක් දක්වා වාර්තා විය. තවත් 70,000කට අධික දරුවන් ප්‍රමාණයක් පෝෂණ හිඟයෙන් පෙළෙන බවට අනාවරණය වී ඇත. ආහාර රැගත් ට්‍රක් රථයක් මාර්ගයේ ඈතින් ගමන් කරන බව දුටුවහොත් කුඩා දරුවන් ඒ කරා දිව යන්නේ දින ගණන් කුසගින්නේ සිට හෙම්බත්වය. එසේ දිවයන කුඩා දරුවන් ඊශ්‍රායල වෙඩි උණ්ඩ හමුවේ මියයන්නේ දින ගණනක් තිස්සේ වතුර පොදක් හෝ නොලබාය.
අධ්‍යාපනය ලැබීම දරුවන්ගේ අයිතියක් වුවද, ගාසා තීරයේ පාසල්වලින් 85%කට අධික ප්‍රමාණයක් හානි වී ගොසිනි. මාරාන්තික වයිරසයක් වැලඳුණද මියයනවා විනා රෝහලකට ගොස් බෙහෙත් පෙත්තක් ලබා ගැනීමේ හැකියාවක් නැත. මන්ද රෝහල් 90%ක පමණ ක්‍රියාකාරිත්වය අඩාළ වී ඇති බැවිනි. අත්‍යවශ්‍ය යම් භාණ්ඩයක් මිලදී ගැනීමට හෝ ඔවුන් ළඟ අවශ්‍ය පමණට මුදල් නැත. යම්කිසි මුදලක් අත රැඳුණද ඉතිරි වී ඇති එකම වෙළෙඳපොළේ හෝ භාණ්ඩවල මිල දැරිය නොහැකි තරම්ය. කෘෂිකර්මාන්තය 80%ත් 96%ත් අතර විනාශ වී ගොස් ඇති බැවින් කලාපය තුළ ආහාර නිෂ්පාදනය සිදු කිරීමට බොහෝ කලක් යනතුරු දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ගණන් බලා ඇති පරිදි ගාසා තීරය යළි ගොඩනැගීමට අවශ්‍ය මුදල බිලියන 30ත් 40ත් අතර වේ. එය බිලියන 80 දක්වා ඉහළ යෑමේ හැකියාවක්ද ඇත. මෙපමණ විශාල මුදලක් වැය වනුයේ යුද්ධයෙන් විනාශයට පත්වුණු නිවාස යළි ගොඩනැගීමටත්, රෝහල්, පාසල්, ජලය, විදුලිබලය සහ මාර්ග පද්ධති යළි පිහිටුවීමටය.
විනාශ වී ගිය සිය භූමිය යළි ගොඩනැගීම අවතැන්ව සිටින ගාසා වැසියන්ටනම් සිහිනයක් පමණි. ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ අරාබි රටවල් ගාසාව යළි ගොඩනැගීම සඳහා සහාය ලබාදීමට කැමැත්ත පළකර ඇත. නමුත්, හමාස් පාලනය, ඊශ්‍රායලයේ ආරක්ෂක සීමා සහ පලස්තීන බලධාරීන් අතර පවතින අසමගිය නිසා යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය ප්‍රමාද විය හැකිය.
මේ සියල්ලට පෙර ගාසා තීරයේ ඇති සුන්බුන් සියල්ල ඉවත් කළ යුතුය. එය දවසකින් දෙකකින් කළ හැකි කාර්යයක් නොවේ. සුන්බුන් ඉවත් කිරීමට පමණක් වසර 14ක් පමණ ගත වනු ඇත.
අනතුරුව එළඹෙන්නේ ගාසාවේ විනාශවුණු ගොඩනැගිලි යළි ඉදිකිරීමේ කාලයයි. සාමාන්‍යයෙන් නිවාස පමණක් යළි ගොඩනැගීමට වසර 20ක් පමණ ගතවනු ඇත. කෙතරම් වේගවත් ක්‍රියාවලියක් යටතේ වුවද එම කාලය ඊට වඩා අඩුවෙන් ගතවේ යැයි අපේක්ෂා කළ නොහැකිය. නමුත් වර්තමානයේ ගාසාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එම ක්‍රියාවලිය වසර 20කින්වත් සම්පූර්ණ කිරීමට හැකියාවක් නැත. මන්ද මේ වන විට එහි ඉන්ධන සහ අවශ්‍ය ගොඩනැගිලි අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දුෂ්කර බවක් ඇති බැවිනි. ඒ අනුව බලන විට සම්පූර්ණ ගාසා තීරය යළි ගොඩනැගීමට තවත් වසර 80ක් පමණ ගතවනු ඇත.
අද වන විට ගාසා තීරයේ දරුවන්ගෙන් 50%කට අධික පිරිසක් අනාගතය පිළිබඳ භීතියෙන්, අධ්‍යාපනය රහිතව සහ පවුල්වලින් වෙන්වී ජීවත් වෙති. ඔවුන්ගේ සිහින බිඳ වැටී ගොසිනි. නමුත්, යළි කෙසේ හෝ ඔවුන්ට ජීවත්වීමට සුදුසු වටපිටාවක් සකසා දිය යුතුය.
ගාසා තීරය යළි ගොඩනැගීම යනු එහි සිවිල් වැසියන් යළි ජීවත් කරවීමයි. එය හුදු සරල කාරණයක් නොවේ. ගාසාවේ මිනිස් ජීවිත, ආර්ථිකය සහ සමාජය නැවත ගොඩනැගීමකි. එසේම, මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු දැකගත හැකි විශාලතම යළි ගොඩනැගීම ලෙසද හැඳින්විය හැකිය.
“යුද්ධයකදී පත්තුවෙන
පළමු වෙඩි උණ්ඩය
කොයි පැත්තෙන් පත්තු උනත්,
ඒක ඉලක්කයට වැදුණත් නැතත්,
ඒ පළවෙනි උණ්ඩෙන්
අනිවාර්යයෙන්ම මියයන දෙන්නෙක් ඉන්නවා
ඒ තමයි
ආදරය හා මනුශ්‍යත්වය”
- රත්න ශ්‍රී විජේසිංහ
(සඳුනි තිලකරත්න)