ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් ඉරාන ජනාධිපතිවරයාට සුළු තුවාල

පසුගිය මාසයේ දිනක ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සුළු තුවාල ලැබූ බව වාර්තා වේ.
ජනාධිපතිවරයා මෙසේ තුවාල ලබා ඇත්තේ ඉකුත් ජුනි 16 වන දින උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකට සහභාගී වෙමින් සිටියදී ය. මෙහිදී ටෙහෙරානයේ අධි ආරක්ෂිත භූගත මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. බෝම්බ හයක් මධ්‍යස්ථානයට ප්‍රවේශ වීමේ සහ පිටවීමේ ස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වී ඇත.
ප්‍රහාරය එල්ල වීමෙන් පසු ජනාධිපතිවරයා ඇතුළු පිරිස හදිසි ආරක්ෂක වළල්ලක් හරහා පැන ගොස් ඇත. එහිදී ජනාධිපතිවරයාගේ කකුලට තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ. එසේම මෙම ඊශ්‍රායල ප්‍රහාර මගින් ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථාන හයම අවහිර වී ඇති අතර වාතාශ්‍රය පද්ධතියද අවහිර වූ බව අනාවරණය වී ඇත.
ඉරාන ආරක්ෂක අංශය චෝදනා කරන්නේ මෙම ප්‍රහාරය ඉරාන ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සහයක් බවයි.
කෙසෙ වෙතත් ඊශ්‍රායලය තවමත් මෙම චෝදනා පිළිබඳව නිල ප්‍රතිචාරයක් ලබාදී නොමැත.
සඳුනි තිලකරත්න