යාල රක්ෂිතයේදී හමුවූ මිනිස් ඇටසැකිල්ල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකෙරේ
ගෝනගංආර පොලිස් වසමට අයත් යාල රක්ෂිතයේ හතරවන කලාපයේ ගල්තලාවක මිනිස් ඇට සැකිල්ලක් තිබී හමුවී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පසුගියදා (15) ගෝනගංආර පොලීසිය දැනුවත් කර තිබුණේ වනජීවී නිලධාරීන් පිරිසක් විසින්.
ඒ අනුව ගෝනගංආර පොලිස් ස්ථානාධිපති වසන්ත බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) වෙනිදා කිලෝමීටර් පනහක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයට දුෂ්කර ගමනකින් පසුව ගොස් එම මිනිස් ඇටසැකිල්ල සොයාගෙන තිබෙනවා.
අනතුරුව ඒ සම්බන්ධයෙන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
පසුව වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් චතුර එරංග දිසානායක මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ සිදුකර තිබෙනවා.
එම අවස්ථාවට මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඒ.සී ලක්මාලි මහත්මියද සහභාගී වී සිටි බව සඳහන්.
මියගිය පුද්ගලයා කළුපාට කොට කලිසමක් ඇඳ සිට ඇති අතර ඔහු කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.
එම ඇටසැකිලි කොටස් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයට භාරදී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් අනුව ගෝනගංආර පොලිස් ස්ථානාධිපති වසන්ත බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
ළහිරු ගුණතිලක - මොනරාගල