මහා වැස්සෙන් නැගෙනහිර පළාතේ වී වගාවට යළි බලපෑම්
නැගෙනහිර පළාතේ වී වගාව, යළි ගංවතුරින් හානියට පත්වීමේ අවදානමක් ඇතිවී තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.
එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලට ඇද හැලෙන මහ වැසි සමග ජලාශ වාන් දොරටු විවෘත කිරිමෙන් වී වගාව ගංවතුරට යටවීමේ දැඩි අවදානමක් ඇති බවයි.
එක් කන්නයකදී ගංවතුරින් වී වගාවට අවස්ථා දෙකකදී හානි සිදුවූ ඉතිහාසයේ පළමු අවස්ථාව 2024/25 මාස් කන්නය බවද ඔහු කියා සිටියා.
මේ කන්නයේ මුලදී ඇද හැලුණු මහ වැස්සට සහ ගංවතුරින් අක්කර තුන් ලක්ෂ තිස් පන්දහසක වී වගාවට සම්පූර්ණ හෝ අර්ධ හානි සිදුවූ බවත්, මේ දිනවල ඇද හැලෙන මහ වැස්සෙන් සහ ගංවතුර හානියෙන් වී වගාව දැඩි අවදානමක් ඇති බවත් අනුරාධ තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නා.
නැගෙනහිර පළාතේ පමණක් අක්කර තිස් දහසක වී වගාව හානියට පත්වීමේ අවදානමක් තිබෙන බවයි ඒ මහතා අවධාරණය කළේ.
නැගෙනහිර පළාතට නොකඩවා දින 04ක් එක එල්ලේ ලැබෙන වැසි සමග ජලාශ වාන් දොරටු විවෘත කර තිබෙනවා.
තවත් ජලාශ කීපයක වාන් දොරටු වැසි වැඩිවීමත් සමග විවෘත කිරීමේ සූදානමක් ඇතැයිද පසුගිය ගංවතුරින් හානියට පත්වූ වී වගාවට වන්දි ගෙවීම මෙතෙක් සිදු කර නැතැයි සභාපතිවරයා ආණ්ඩුවට චෝදනා කරනවා.
මේ දිනවල පවතින වැසි සහ ගංවතුර අවදානමත් සමග අක්කර තිස් දහසක් පමණ වී වගාව හානියට පත්වීමේ අවදානමක් තිබෙන බවත්, වී කිලෝ ග්රෑම් කෝටි හයක් පමණ රටට අහිමිවනු ඇතැයි තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නා.