ලැප්ටොප් එකක් කියලා හොඳම මිතුරාගේ මංගල ඇල්බමය උස්සලා
ලක්ෂ විස්සක බඩු සොරා ගත් අඹුසැමි යුවලක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට
පාදුක්ක අංගම්පිටිය ප්රදේශයේ වසා දමා තිබූ නිවසකට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමින් යුත් මංගල ඇල්බමයක් සමග රන් භාණ්ඩ හා දේපළ ඇතුළු භාණ්ඩ සොරාගත් අඹුසැමි යුවළක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාදුක්ක අංගම්පිටිය ප්රදේශයේ නිවසක අඹු සැමි යුවලක් ඇතුළු නිවැසියන් විදේශගතව සිටියදී පසුගියදා (2024.10.01) එම නිවසට ඇතුළු වී එහි තිබූ රූපවාහිනි යන්ත්රයක්, බෆල් කට්ටලයක්, රන් මුදු තුනක්, කරාබු යුගලක්, රන් අත් පළදනාවක් හා මංගල ඇල්බමයක් ඇතුළු රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සොරාගෙන ඇති බවට පාදුක්ක පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය විමර්ශන සිදුකරන අතරතුරදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය මගින් තවත් විමර්ශනයක් ආරම්භ කළා.
එහිදී ලද තොරතුරකට අනුව භාණ්ඩ සොරා ගත් නිවසට යාබද නිවසක රැඳී සිටි පුද්ගලයකු එම නිවසින් සොරාගත් බව පැවසෙන අගල් 56 රූපවාහිනී යන්ත්රයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ඔහුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී සොරා ගත් බෆල් කට්ටලය සමග එම ප්රදේශයේම තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර සොරා ගත් මංගල ඇල්බමය laptop යන්ත්රයක් යැයි සිතා සොරාගෙන තිබූ බවයි වාර්තා වන්නේ.
අනතුරුව එය මංගල ඇල්බමයක් බවට අනාවරණය වීමෙන් පසු එය පුළුස්සා දමා ඇති බවත්, සොරාගත් රන් භාන්ඩ ඉමිටේෂන් භාණ්ඩ බවට අනාවරණය වීම හේතුවෙන් ඒවා ඇල මාර්ගයකට විසිකර දැමූ බවටත් සැකකරුවන් ප්රකාශ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙහි ප්රධාන සැකකරු භාණ්ඩ හිමිකරුගේ කල්යාණ මිත්රයෙකු බවටයි.
අවසන් වරට ඔහු විදේශගතව සිට පැමිණීමේදී ගුවන්තොටුපලේ සිට නිවසට රැගෙන විත් ඇත්තේද මොහු බවත්, දෙදෙනා කලක සිට මිතුරන් ලෙස ජීවත්ව සිට ඇති දෙදෙනකු බවටත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
සොරාගත් අගල් 56 එල්.ඊ.ඩී. රූපවාහිනී යන්ත්රයක්, රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමින් යුත් (JPL) බෆල් කට්ටලයක් ඇතුළු ලක්ෂ පහකට ආසන්න භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පාදුක්ක පොලීසියට භාර දී තිබෙනවා.