ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව සෞදියේදී ඇරඹෙයි

ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව සෞදියේදී ඇරඹෙයි

ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව අද (29) සෞදි අරාබියේ රියාද් අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සෞදි අරාබි රාජධානියේ නායක සල්මාන් බින් අබ්දුල්ලසිස් අල් සවුද් රජුගේ ප්‍රධානත්වයෙන්.

මෙම සමුළුවට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එක්ව සිටිනවා.

ඊට රටවල් රැසක විෂයභාර අමාත්‍යවරුන් මෙන්ම කම්කරු නායකයන්, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව සිටීම විශේෂත්වයක්.

අද පැවැත්වෙන මෙම ලෝක ශ්‍රම වෙලඳපළ සමුළුවේදී ලෝක ශ්‍රම වෙළඳපළේ නූතන ප්‍රවණතා,ජාතික ප්‍රතිපත්ති මෙන්ම ඒ ඒ රටවල ආර්ථික තත්වයන් පිළිබඳවද අවධානය යොමු කෙරෙණු ඇති.

ඊට අමතරව ශ්‍රම වෙළඳපළේ වත්මන් අභියෝග, වැටුප් විෂමතා, තරුණ සේවා නියුක්තය ආදී කරුණු පිලිබඳවද සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතයි.

ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුවේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බලගන්වමින් ජාතික ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පවත්වන බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ.

Share This