“Gift of Vision” වැඩසටහනට වසරක් සපිරේ – රෝගීන් දහසකට ජාතික අක්ෂි රෝහලේ දී ශල්‍යකර්ම

කුමන බාධක, අභියෝග පැමිණියත් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන්කරන මුදල් කිසිදු ලෙසකින් අඩු නොකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

ඇසේ සුද මතුවීම හේතුවෙන් පෙනීම අහිමි වූ රෝගීන් 1000 ක් සඳහා ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සිදු කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ පෙරවරුවේ (21) කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ආරම්භ වූ අතර, දෙවන දිනයවන අද (22) ප්‍රගතිය සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහි නිරීක්ෂණයක නිරත විය.

රජයේ ප්‍රධාන රෝහල්වල පොරොත්තු ලේඛනයන්හි සිටින අක්ෂි රෝගීන් ප්‍රමාණය අවම කිරීමේ අරමුණින් පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ දී ආරම්භකරන ලද “Gift of Vision” විශේෂ වැඩසටහනට වසරක් සපිරීම වෙනුවෙන් මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර තිබිණි. මෙම වැඩසටහන යටතේ පසුගිය වසරේ 4000 කට අධික අක්ෂි ශල්‍යකර්ම ප්‍රමාණයක් සිදු කර ඇත. මෙම වැඩසටහන 2026 වසරේ පවත්වන ලද තෙවන වැඩසටහන වේ.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාමෙරටට බලපෑ දිට්වා සුළිකුණාටු තත්ත්ව හමුවේ වුවත්, මේ දිනවල මැද පෙරදිග පවතින යුධමය තත්ත්වය හමුවේදීත්, කුමන ගැටලු සහගත ත්ත්වයක් පැනනැගුනත් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයෙ, භාණ්ඩාරය වෙන්කරන මුදල්වල කිසිදු ලෙසකින් අඩුවක් සිදු නොකරන බව පැවසීය.

එමෙන්ම මෙරට සෞඛ්‍ය සේවාව ව්‍යුහාත්මකව ඉතා විශාල පරිවර්තනයකට ලක්කිරීමට උත්සහ කරමින්, ක්‍රියාකරමින් සහ සැලසුම්කරමින් සිටින බව ද සදහන්කළ අමාත්‍යවරයා මෙතෙක්කල් ආයතන කේන්ද්‍ර කරගනිමින් තිබුනු සේවාව පුරවැසියා ඉලක්ක කරගත් සේවාවක් බවට පත්කරන්නේ කෙසේද යන්න පිළිබදව මේවනවිට කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

පුරවැසියා වෙනුවෙන් ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් ලබා දීම, පුරවැසියාට නිරෝගී දිවි පැවැත්මක් සහතික කිරීම,ආර්ථිකයට දායක වන පුරවැසියාව සෞඛ්‍ය සම්පන්නව රැක බලා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය බව ද අමාත්‍යවරයා සදහන්කර සිටියේය.

මේ සදහා ජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම අතිශය වැදගත්වන බවත්, ඒ සදහා කෙටි කාලීන,මධ්‍ය කාලීන හා එකිනෙකට වෙනස් වැඩපිළිවෙලවල් රැසක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.

බෝනොවන රෝග සදහා වන කාර්ය සාධක බලකායක් මේවන විට ආරම්භ කරමින් පවතින බවත්, එහි සාකච්ජා අදියර කිහිපයක් මේවන විට පැවති බවත් සදහන්කල අමාත්‍යවරයා පිළිකා රෝග, හෘද රෝග, වකුගඩු රෝග, ශ්වසන පද්ධතියට අඳාළ රෝග සහ දියවැඩියාව සහ අක්ෂි රෝග වැනි රෝග කෙරෙහි මුලික අවධානය යොමු කරමින් ඊට අඳාළව දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ද සම්න්ධීකරණය කර ගනිමින් මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඒ ඔස්සේ අඛණ්ඩව බෝ නොවන රෝග පාලනය කර මෙරට ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ක්‍රියා කරන බව ද පැවසීය.

මෙම ක්ෂේත්‍රවල ප්‍රධානීන්, විද්‍යායතන, පාර්ශවකරුවන් කණ්ඩායම් එකතුකර ගනිමින් මේ මොහොතේ පවතින කාළීන ගැටලුවලට කණ්ඩායමක් ලෙස විසදුම් සොයා ගැනීම, පොරොත්තු ලේඛණ අවම කිරීමත් මෙහි අරමුණක් බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සදහන්කර සිටියේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතන සහ ජාතික අක්ෂි රෝහල එක්ව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වන අතර මෙහි දී ශල්‍ය කර්ම සඳහා ලක් කරනු ලබන රෝගීන් වෙනුවෙන් ඉහළ ප්‍රමිතිය සහිත අක්ෂි කාච නොමිලේ ලබාදීම ද සිදු කෙරේ. අක්ෂිකාච සදහා එක්සත් රාජධානියේ Assist RR සංවිධානයේ වෛද්‍ය සවේශ්වරන් මහතා අනුග්‍රාහකත්වය ලබා දී ඇත.

මෙම වැඩසටහන දීප ව්‍යාප්තව සාර්ථකව පසුගිය වර්ෂය පුරා ක්‍රියාත්මක කරගැනීම සදහා දායකත්වය දැක්වූ විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන් ඇගයීමද මෙහි දී අමාත්‍යවරයා අතින් සිදුවිය. එමෙන්ම සිංහ සමාජයේ අනුග්‍රහයෙන් ජාතික අක්ෂි රෝහලට අක්ෂි කාච පරිත්‍යාගයක්ද සිදුවිය.

ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය නියෝජනය කරන අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළුව ජාතික අක්ෂි රෝහලේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සාර්ථකකර ගැනීම සදහා දායකත්වය ලබාදෙනු ලබයි.

මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි ශල්‍ය කර්ම සිදුකර ගැනීම සඳහා පොරොත්තු ලේඛණවල සිටින පිරිස අවම කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මඟපෙන්විම සහ උපදෙස් ඇතිව ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව “Gift of Vision” නමින් මෙම විශේෂ වැඩසටහන ආරම්භ කරන ලදි.

මෙම අවස්ථාවට කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා, රාගම වෛද්‍ය පීඨයේ ඡ්‍යෙෂ්ඨ කථීකාචාර්ය අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ඒ සැල්වින්, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ කේ.ආර්. දයාවංශ, “Gift of Vision Sri Lanka” වැඩසටහනේ නිර්මාර්තෘ, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඡ‍ේ.ඩී ජයස්, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චම්පා බානගල, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රීමතී වීරසිංහ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, මෙන්ම හෙද හෙදියන් ඇතුළුසෞඛ්‍ය කාර්ය මණ්ඩල, පරිත්‍යාගශීලී ආයතන නියෝජනය කරමින් පරිත්‍යාගශීලීන් පිරිසක්ද එක්ව සිටියහ.

Share This