හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරියට නව තනතුරක්

හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරියට නව තනතුරක්

නව තානාපතිවරුන් දෙදෙනෙකු නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා.

ඒ, එම කාරක සභාව පසුගියදා  (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයෙකු පත් කිරීම සඳහා වන නාමයෝජනාවද කාරක සභාව අනුමත කර ඇති බව සඳහන්.

ඒ අනුව, කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආර්.එම්. මහින්ද දාස රත්නායක මහතා පත්කිරීමටත්,  ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පත් කිරීමටත්  උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

එක්සත් රාජධානියට අයත් මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්. ඩී. නිමල් උපාලි සේනාධීර මහතා පත් කිරීම සඳහා වන  නාමයෝජනාව ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කර ඇති බවයි, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු  ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නාමයෝජනාවද  උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇති බව සඳහන්.

Share This