වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනම් කරන්න

වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.
2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන සහ එම ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති වෙනුවෙන් නිසි අයුරින් යෙදවීම පිළිබඳ සොයා බැලීමට මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.
කෘෂි දත්තවල පවතින අසම්පූර්ණ බව හේතුවෙන්, තීරණ ගැනීමේදී සිදු වන දෝෂ පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානය යොමු කළා.
කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ තුළ සාධාරණ මිලක් ලබා දෙමින් ගොවියා ආරක්ෂා කිරීම මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණයක් සිදු වන පරිදි මිලගණන් තීරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
පශු සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු පියවර, අපනයන කෘෂි භෝග ප්‍රවර්ධනය, මිල්කෝ ආයතනයේ මෙහෙයුම් හා එහි ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කෙරුණා.