Elon Muskට තවත් අභියෝගයක්

පෘථිවියේ සිට කිලෝමීටර් 36,000ක් ඉහළ අහසේ සිට, වොට් 2ක (2W) ඉතාම අඩු බලයක් සහිත ලේසර් කිරණයක් මගින් අතිශය වේගවත් දත්ත සන්නිවේදනයක් සිදු කිරීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. මෙය දැනට ලොව ප්‍රමුඛතම සැටලයිට් අන්තර්ජාල ජාලය වන ඉලෝන් මස්ක්ගේ Starlink සේවාවට වඩා පස් ගුණයක (5x) වේගයකින් යුක්ත වීම විශේෂත්වයක්.
සාමාන්‍යයෙන් චන්ද්‍රිකා සන්නිවේදනය සඳහා භාවිතා කරන රේඩියෝ තරංග වලට වඩා ලේසර් තාක්ෂණය (Optical Communication) බෙහෙවින් සංකීර්ණයි. කිලෝමීටර් 36,000ක් ඈත තැබූ ඉඳිකටු සිදුරකට තවත් කිලෝමීටර් දහස් ගණනක් ඈත සිට නූලක් ඇතුල් කරනවා වැනි අතිශය නිරවද්‍ය ඉලක්කයක් මෙහිදී අවශ්‍ය වනවා. චීනය මෙම අත්හදා බැලීම සිදු කර ඇත්තේ ‘Gaoqiang-13’ චන්ද්‍රිකාව භාවිතා කරමිනුයි.
Elon Musk ගේ Starlink චන්ද්‍රිකා පෘථිවියට වඩාත් සමීපව (පහළ කක්ෂයේ – LEO) ගමන් කරන නිසා සන්නිවේදනය පහසුයි. නමුත් චීනය මෙම ජයග්‍රහණය ලබා ඇත්තේ පෘථිවියට සාපේක්ෂව නිශ්චලව පවතින Geostationary (GEO) කක්ෂයේ සිටයි. මෙහි ඇති වාසිය නම් මුළු පෘථිවියම ආවරණය කිරීමට අවශ්‍ය වන්නේ චන්ද්‍රිකා කිහිපයක් පමණක් වීමයි. තත්පරයට ගිගාබිට් 10ක (10Gbps) වේගයකින් දත්ත හුවමාරු කිරීමට මෙම ලේසර් තාක්ෂණය සමත් වී තිබෙනවා. මෙම තාක්ෂණය මගින් ලෝකයේ ඕනෑම දුෂ්කර ප්‍රදේශයකට, සාගරයේ මැදට හෝ ගුවන් යානයක සිටින අයෙකුට වුවත් දැනට පවතින වේගයට වඩා බෙහෙවින් වැඩි වේගවත් අන්තර්ජාල පහසුකම් ලබා දීමට මග පෑදෙනවා. එමෙන්ම මිල අධික ෆයිබර් කේබල් එලීමකින් තොරවම මහාද්වීප අතර දත්ත හුවමාරුව අතිශය ලාභදායී ලෙස සිදු කිරීමටත් මෙයින් අවස්ථාව ලැබෙනවා.

Share This